එළඹෙන උත්සව සමයට පෙර රජය මැදිහත් වී දේශීය පිටි සමාගම් දෙකෙහි තිරිඟු පිටි මිල සහ ආනයනික මාගරින් මිල අඩු කරන්නේ නම් පාන් ගෙඩියක් රුපියල් 100කට හා කේක් කිලෝවක් රුපියල් 800ත් 900ත් අතර මිල අඩු කිරීමක් සිදුකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය.
එසේම අනෙකුත් බේකරි නිෂ්පාදනයන්හි මිලද පාරිභෝගික ජනතාවට විශාල සහනයක් ගෙන දෙන අයුරින් අඩු කළ හැකි බවද ඒ මහතා කීවේය.මෙම මිල අඩු කිරීමට නම් අනිවාර්යයෙන්ම රජය මැදිහත් වී දේශීය පිටි සමාගම් දෙක මගින් රුපියල් 195කට අලෙවි කරන තිරිඟු පිටි කිලෝවක් රුපියල් 150කටත්, රුපියල් 1000ක්ව පවතින ආනයනික මාජරීන් කිලෝවක් රුපියල් 700ත් 800ත් අතර මිල අඩු කිරීමක් සිදු කළ යුතු බවද සභාපතිවරයා පැවසීය.
එසේම මේ වන විට තිරිඟු පිටි කිලෝවක් වෙනුවෙන් පනවා ඇති රුපියල් 45ක හා මාජරීන් කිලෝවක් වෙනුවෙන් පනවා ඇති රුපියල් 600ක බද්ධ අඩු කිරීම තුළින් තිරිඟු පිටි මිල හා මාගරින් මිල අඩු කළ හැකි බව පෙන්වා දෙන සභාපතිවරයා, එසේ බදු අඩු කිරීම තුළින් රජයට කිසිදු පාඩුවක් සිදුනොවන බවද කීවේය. එම නිසා එළඹෙන නත්තල් සහ අලුත් අවුරුද්දට පෙර පාන්, කේක් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල අඩුකර පාරිභෝගික ජනතාවට සහනයක් ලබා දිය හැකි බවත්, ඒ සඳහා රජය කඩිනමින් තිරිඟු පිටි මිල සහ මාගරින් මිල අඩු කිර්මට පියවර ගනු ඇති බවට විශ්වාස කරන බවද ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
(කීර්ති ප්රනාන්දු)
0 Comments