හයිලෙවල් මාර්ගයේ මීගොඩ හන්දියේ බස් නැවතුමේ නැවැත් වූ ලංගම බස් රථයකට 15 හැවිරිදි දරුවකු ගොඩවීමට පෙර, රියැදුරු බස් රථය ධාවනය කළැයි කියන සිද්ධියක් නිසා බස් රථයෙන් ඇද වැටුණු දරුවා එම ස්ථානයේම දමා, බස් රථය ගමනාන්තය දක්වා ධාවනය කර ආපසු එමින් සිටියදී,
බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා බස් රථය සමග අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි. වෙනත් බස් රථයක් සමග තරගයට ධාවනය වූ බව කියන අවිස්සාවේල්ල ඩිපෝවට අයත් මෙම බස් රථය, අවිස්සාවේල්ල සිට කිරුළපන දක්වා ධාවනය කර ඇති අතර, (02) දින පෙරවරු 5.30 ට පමණ මගීන් ගැනීම සඳහා මීගොඩ හන්දියේ බස් නැවතුමේ නවත්වා ඇත.ඒ අවස්ථාවේ බස් නැවතුමේ සිටි ක්රීඩා පුහුණු වැඩසටහනකට තම දරුවා රැගෙන යන මවක්, ප්රථමයෙන් දරුවා බස් රථයට නංවා, මව බස් රථයට ගොඩවීමට පෙර රියැදුරු බස් රථය ධාවනය කරවීම නිසා, 15 හැවිරිදි මෙම දරුවා බස් නැවතුමේදීම බස් රථයෙන් බිමට ඇද වැටී ඇති බව පොලිසිය පවසයි.එම අවස්ථාවේ බස් රථයේ කොන්දොස්තරවරයාද බස් රථයේ පිටුපස සිට ඇති අතර, මොවුන් දෙදෙනාම තම බස් රථයෙන් ඇද වැටුණු දරුවා කෙරෙහි අවධානය යොමු නොකර බස් රථය කිරුළපන දක්වා ධාවනය කර ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස බස් රථයෙන් ඇදවැටුණු දරුවා, මව විසින් වෙනත් වාහනයකින් හෝමාගම රෝහලට ඇතුළත් කිරීමට රැගෙන යන අවස්ථාවේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසියට පවසා ඇත.මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත, බස් රථය ධාවනය කළ මාර්ගයේ සීසීටීවී දත්ත පරීක්ෂා කිරීමේදී, පොලිස් නිලධාරීන් සිද්ධියට සම්බන්ධ එම බස් රථය හඳුනාගෙන ඇත.
ඒ අනුව බස් රථය කිරුළපනට ගොස් ආපසු අවිස්සාවේල්ල බලා මගීන් රැගෙන එමින් සිටියදී, මීගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් බස් රථය මීගොඩ ප්රදේශයේදී නවත්වා, එම බස් රථයේ පැමිණි මගීන්ට වෙනත්, බස් රථයකින් යෑමට ගමන් පහසුව සලසාදී බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයාත් බස් රථය සමග අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් දෙදෙනාගෙන් වැඩිදුර ප්රශ්න කිරීමෙන් පසු, නොසැලිකිලිමත්ව බස් රථයක් ධාවනය කිරීම, අනතුරක් වළක්වා නොගැනීම, අනතුර සම්බන්ධයෙන් පොලිසියට වාර්තා නොකිරීම, තුවාලකරු රෝහලට ඇතුළත් නොකිරීම ඇතුළු තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුවන් හෝමාගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව පොලිසිය පවසයි.
(නිහාල් වෙත්තසිංහ)
0 Comments