mhanse-wijesuriya-president

ජනාධිපති අනුර කුමාර දිසානායක ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය මේ පිළිබඳව නිවේදනය කළේ ය.

ජාත්‍යන්තර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ කීර්තිමත් පුද්ගලයෙකු වන ආචාර්ය හාන්ස් විජයසූරිය දැනට ආසිආටා සමාගමේ (Axiata Group Bhd) විදුලි සංදේශ ව්‍යාපාර ප්‍රධාන විධායක නිලධාරී සහ සමූහ විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි.



ඔහු නියමිත කාලයකින් පසු එම තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

මෙම කාල පරිච්ඡේදය තුළ, ආචාර්ය හාන්ස් විජයසූරිය විධායක නොවන සභාපතිවරයා ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඒ හරහා රජය අපේක්ෂා කරන ඩිජිටල් පරිවර්තනය සඳහා අදාළ වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිදු කරන බව ය.

අදාළ පත් කිරීමෙන් පසු ඩිජිටල් ආර්ථිකයට අදාළ ආයතනික රාමුව තුළ විධායක නායකත්ව භූමිකා කිහිපයක් ඔහු ඉටු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.



මීට අමතරව, ජනාධිපතිවරයාගේ ඍජු විෂය පථය යටතේ අලුතින් පිහිට වූ අමාත්‍යංශයක් වන ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ඩිජිටල් ආර්ථික ත්වරණය අධීක්ෂණය කිරීම සඳහා කටයුතු කරන ඉහළම ආයතනයක් වන ඩිජිටල් ආර්ථික අධිකාරියේ සභාපතිවරයා යන තනතුරු ද්විත්වය ම ආචාර්ය හාන්ස් විජයසූරිය විසින් දරනු ඇත.

ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරීත්වය සහ සියලු පුරවැසියන්ට සැලකිය යුතු ප්‍රතිලාභ සැලසීම අපේක්ෂා කරමින්, කලාපයේ වඩාත් ම දියුණු රටවල් හා සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉහළ නැංවීමේ සිය දැක්ම සහ කැපවීම පිළිඹිබු කරමින් ජනාධිපතිවරයා මෙම පත් කිරීම සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, පුරවැසියන් සවිබල ගැන්වීම උදෙසා ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) ස්ථාපනය කිරීම මගින් බහු-ආංශික ඩිජිටල් පරිවර්තනයක් සඳහා රජය දැඩිව කැප වී සිටි බව ය.



ඒ අනුව, වේගවත් ඩිජිටල් ආර්ථිකයකට සහ සියලු පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට තුඩු දෙන ආර්ථික හා සමාජ සංවර්ධනයට අදාළ සාම්ප්‍රදායික සංවර්ධන අවස්ථා ග්‍රහණය කර ගැනීමට හැකි වන පරිදි නවීන තාක්‍ෂණය භාවිත කිරීමට රජය සැලසුම් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ආචාර්ය හාන්ස් විජයසූරියගේ පත්වීම ඉහත දැක්ම සාක්ෂාත් කරගැනීම සඳහා වන ප්‍රධාන පියවර වන බව ය.