midigama-murder

මිදිගම ගොවියාපාන ප්‍රදේශයේදී මාළු ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කොට, තවත් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් අටදෙනෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


එම වෙඩි තැබීමට උපයෝගී කරගත් තුර්කියේ නිෂ්පාදිත පිස්තෝලයක් හා ජීව උණ්ඩ 05ක්ද, ගිනිඅවිය ප්‍රවාහනය කිරීමට උපයෝගී කර ගත් ත්‍රිරෝද රථයක්ද පොලීසිය අත්අඩංගුවට ගෙන  තිබේ.වෙඩි තැබීම සිදුකළ ප්‍රධානි සැකකරු මත්ද්‍රව්‍යජාවාරම්කරුවෙකු බවත්, ඔහු විසින් මත්කුඩු විකුණා ඩුබායිහි සැඟවී සිටින අපරාධකරුවෙකුගේ බැංකු ගිණුමට බැර කිරීමට ළඟ තබා ගෙන සිටි රුපියල් පහළොස් ලක්ෂ හතළිස් දෙදහසක මුදලක්ද පොලීසිය භාරයට ගෙන ඇත.




ඉකුත් සැප්තැම්බර් මස 19වැනි දින සිදුකළ මෙම අපරාධය සඳහා යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනාම වෙඩි තැබීම සිදුකර ඇති බවත්, ඒ සඳහා යොදා ගත් ටී 56 වර්ගයේ ගිනිඅවිය සොයා ගැනීම සඳහා තවදුරටත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන බවත් උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.


ඩුබායිහි සැඟව සිටින මිදීගම චූටි හා රන් පැටී යන පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනා මෙම ඝාතනය මෙහෙයවා ඇති බවත්, ඔවුන් දැනට රිමාන්ඩ් භාරයේ පසුවන මිදිගම හරක්කටාගේ ගෝලයන් බවත් පොලීසිය සඳහන් කරයි.සර්ෆින් ක්‍රීඩා සිදුකිරීමේ ස්ථානය සම්බන්ධයෙන් ඇති වූ අමනාපයක් මත රුපියල් ලක්ෂ දෙකහමාරක් හා මත්කුඩු පාර්සලයක් ලබා දීමේ කොන්ත්‍රාත්තුවකට මෙම ඝාතනය සිදුකර තිබෙන බව කියයි.


අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිගම, මිදිගම හා වැල්ලවාය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති.

ඒ අතර වෙඩික්කරුවන්ට නවාතැන් හා ආහාරපාන සපයා දුන් සැකකරුවකුගේ මවද සිටින බව පොලීසිය සඳහන් කරයි.ඩුබායිහි සැඟව සිටින ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් රතු නිවේදන ගැනීමට කටයුතු කරන බවත්, ඝාතනයට යොදා ගත් ටී 56 වර්ගයේ ගිනිඅවිය හා තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තවදුරටත් විමර්ශන සිදුකරන බවත් පොලීසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන්ට රැඳවුම් නියෝග ලබා ගැනීමට ඔවුන් ඊයේ (04දා) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)