minuwangoda-deal

මිනුවන්ගොඩ දී රුපියල් කෝටි හතක මුදලක් පැහැර ගත් වෑන් රථ රියැදුරු සහ ඔහුගේ මිතුරා යාපනයේ ධීවර බෝට්ටුවකට රුපියල් ලක්ෂ පහක් ගෙවා ඉන්දියාවට පලා යෑමේ අදහසින් කොන්ත්‍රාත්තුවක් භාර දීමට උත්සහ කර ඇතත් යාපනයේ බෝට්ටුකරුවන් ඊට එකඟ වී නැති බව යාපනය පොලිසිය පැවසීය.



ඔවුන් දෙදෙනා ඉන්දියාවට පලා යෑම සඳහා යාපනයේ නාගදීපය වෙත ගොස් ඇති අතර එහිදී කුරීකඩ්ඩුවාන් ජැටියේදී බෝට්ටුකරුවන් කීපදෙනකු සමගම සාකච්ඡා කර තිබේ.

යාපනයේ නාගදීපය වැඳ පුදාගෙන එම විහාරස්ථානයට අට පිරිකර ද පූජා කර පැමිණි මේ සැකකරුවන් දෙදෙනා නාවික හමුදා නිලධාරීන් කීපදෙනකු හමුවූ අවස්ථාවේ දී ඔවුන්ගෙන් ද ඉන්දියාවට යා හැකි අන්දම ගැන විමසා ඇත.



නමුත් එම නාවික හමුදා කණ්ඩායමට මේ සැකකරුවන් දෙදෙනා හඳුනා ගැනීමට නොහැකි වී ඇති අතර ඔවුන් ගැන සැකයක් ද පහළ වී නැත.

යාපනයෙන් ඉන්දියාවට යෑමට අපහසු නිසා මන්නාරමට ගොස් එහි බෝට්ටුකරුවන් හමු වී සාකච්ඡා කරන ලෙස යාපනයේ බෝට්ටු හිමියන්ගෙන් ලද තොරතුරක් මත ඔවුන් මන්නාරමට යෑමට උත්සහ කර තිබේ.

නමුත් ඊට පෙර ඔවුන් මිනුවන්ගොඩ සිට කුලී පදනමකින් යාපනයට පැමිණි වාහනය හා තවත් දෙදෙනකු සමග පොලිසියට කොටු වී තිබේ.

මිනුවන්ගොඩ සිට යාපනයට පැමිණීම සඳහා මේ පිරිස රුපියල් ලක්ෂ පහකට වඩා වැඩි මුදලක් වැය කොට තිබූ බව පොලිස් පරීක්ෂණවල දී හෙළි වී ඇත. හොරකම් කරන ලද රුපියල් කෝටි හතක මුදලෙන් කෝටි හතරකට ආසන්න මුදලක් සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.

(දිනසේන රතුගමගේ, ගම්පහ – සුසිල් රණමුක, ධම්මික සල්වතුර)