moragahahena-incident

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඡන්දය දැමීමට දරු දෙදෙනා සහ බිරිය සමග සිය ගම් ප්‍රදේශය බලා ත්‍රිරෝද රියකින් යමින් සිටියදී මොරගහහේන ගෝනපොළ ප්‍රදේශයේදී ලොරියක ගැටී ඊයේ (12) දහවල් සිදුවූ අනතුරින් බිරිය මියගොස් සැමියා සහ දරු දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.


අනතුරින් මිය ගොස් ඇත්තේ මිද්දෙණිය කුඩුගල්ආර බැද්දේවත්තේ පදිංචිව සිටි 34 හැවිරිදි ජි.ඒ. චම්පිකා උදයාංගනී නමැති දෙදරු මවකි.ඇයගේ සැමියා හා අවුරුදු හතක පුතා සහ වයස අවුරුදු හතරක දියණිය බරපතළ තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.


අනතුරට පත් එකම පවුලේ පිරිස පිළියන්දල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට ඇති අතර මෙම 14 වැනිදා පැවැත්වෙන මැතිවරණයේ ඡන්දය දැමීම සඳහා ගම් ප්‍රදේශය බලා යමින් සිටියදී මෙම අනතුර වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වීයැයි පොලිසිය කියයි.



ත්‍රිරෝද රථය ලොරියේ ගැටීමත් සමගම එහි තට්ටුව පමණක් මීටර් 30ක් පමණ ඉදිරියට පෙරළී ගොස් මාර්ගයේ නැවතී තිබූ බවත් බරපතළ තුවාල ලද මව පියා සහ දරු දෙදෙනාගේ සිරුරු මාර්ගයේ තැනින් තැන වැටී තිබූ බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පැවැසූහ.


ත්‍රිරෝද රථයේ වහලය කොටස ලොරියේ පිටුපස ඇමිණි තිබූ බව ද ඔහු වැඩිදුරටත් පවසයි. අනතුරින් බරපතළ තුවාල ලැබූවන් ප්‍රදේශවාසීන් විසින් කඩිනමින් කහතුඩුව වෑතර රෝහල වෙත රැගෙන ගියත් එහිදී කාන්තාව මියගොස් සිටි අතර සෙසු අයට කඩිනමින් මූලික ප්‍රතිකාර ලබා දී කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට පියවර ගත් බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.


තුවාල ලද සියලුම දෙනාගේ හිස ප්‍රදේශවලට බරපතළ තුවාල සිදුව තිබූ බව රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.රියැදුරන් දෙදෙනාගේම අපරීක්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතු වී ඇති බව මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.අනතුරින් ත්‍රිරෝද රථයට බරපතළ හානි වී ඇත.