මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියැදුරකුට ඉකුත් වසර පහමාරක කාලය තුළදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුණද එම කාලයට අදාළ වැටුප් ලෙස 27,32,944ක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාරියාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.මෙම කාලය තුළ රෝහල් බලධාරින් විසින් මෙකි සෞඛ්‍ය රියැදුරු වෙත කිසිදු රාජකාරියක් පවරා නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. මේ සම්බන්ධයෙන් පුර්ණ ස්වාධීන විමර්ශනයක් සිදුකර වගකිවයුතු පාර්ශ්වයන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත.




මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ විගණන නිරික්ෂණ සමග එකගවන බවය. මෙම රියැදුරා විසින් ලබාගෙන තිබූ වැටුප් රහිත නිවාඩු ගණනය කර දින 57ක් සඳහා රුපියල් 90,380ක මුදලක් හා 2023 වර්ෂයේ මාස තුනක වැටුපෙන් අයකරගෙන ඇති බවත් 2023 දෙසැම්බර් හා 2024 ජනවාරි මස වැටුපෙන් වැටුප් රහිත නිවාඩු දින 47ක් සදහා රුපියල් 75,811 ක මුදලක් අයකරගෙන ඇති බව ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත.මේ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භකොට ඇති බවද ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත.
(ජේ.කේ.එල්.චාමින්ද)