nihal-galappathi-story

දසවැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක සැසිවාරය ඉතා චාම් උත්සවයකින් අලංකාර විය. ජනාධිපති අනුර කුමාර දිසානායක රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පැමිණියේද වෙනදා මෙන් ආටෝප සාටෝපවලින් තොරවය. ත්‍රිවිධ හමුදා උත්තමාචාර, අශ්වාරෝහකයන් නොමැතිව නිල රියේ ඉදිරි අසුනෙම වාඩි වී පැමිණි ජනාධිපති අනුර රියේ දොර ඔහු විසින්ම විවර කර බිමට බැස්සේය.

ජනපති රතුපළසේදී කීවේ කුමක්ද?

ජනාධිපතිවරයා පිළිගැනීමට කතානායක අශෝක රන්වල, පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න පියගැට පෙළ පාමුලට පැමිණ සිටියහ. “

ආයුබෝවන්” ජනාධිපතිවරයා තිදෙනාටම දෑත එක්කාසු කර ආචාර කළේය. ඔවුන් තිදෙනා කැටිව රතු පළස මතින් ජනාධිපතිවරයා ඇවිදගෙන ගියේය.

"ලේකම්තුමියනි; අපි කවදා මෙහෙම රතු පලස් මතින් යන්න හිටපු අයද?" ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ කුෂාණි රෝහණධීරටය. සිනාමුසු මුහුණෙන් ජනාධිපතිවරයා එසේ කියනවිට කුෂාණි රෝහණධීරගෙන් ලැබුණේද එබඳුම සිනාමුසු පිළිතුරකි.

කතානායක අසුනේ වාඩිගත් අනුර දිසානායක ජනාධිපතිවරයාට කිසිදු චකිතයක් නැත. ඒ ඔහු ඇමතිවරයකු ලෙස ඉතා කෙටි කාලයක්ද මන්ත්‍රීවරයකු වශයෙන් වසර20කට අධික කාලයක්ද ගත කර ඇති නිසා නොව පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටි මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඔහුගේ පක්‍ෂයේ නියෝජිතයන්වීම නිසාය.

"අනුර සහෝදරයට පක්‍ෂයේ කමිටුවක් රැස් කළා වගේ දැනෙනවා ඇති " මාලිමාවේ මන්ත්‍රීවරයෙක් එසේ කීවේ මාලිමාවේ මන්ත්‍රීවරයකු සමගය.




"මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්නේ අලුත් අය. ඒනිසා පාර්ලිමේන්තුව වේගයෙන් ප්‍රතිෂ්ඨාපනය කරන්න පුළුවන්කම තියෙනවා" ජනාධිපති අනුර කියා සිටියේය.


ටී පාටියත් මගහරින්න හදලා


සභාව කල් තැබීමෙන් පසුව සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය විය.

"මම එළියට යනවා" ජනාධිපතිවරයා කීවේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ප්‍රධානියකුටය.


"එහෙම බෑ, ජනාධිපතිතුමනි'' ඔබතුමා මේ අවස්ථාවට සහභාගී වෙන්නම ඕනෑ” එම ප්‍රධානියා එසේ කීවද ජනාධිපතිවරයා උත්සහ කළේම තේ පැන් සංග්‍රහය මගහැර යාමටය.


"ඔබතුමාට කොහොමත් යන්ත වෙන්නේ නෑ. මොකද අද පිටවීම තියෙන්නේ මේ පැත්තෙන්'' එම ප්‍රධානියා කීවේ තේ පැන් සංග්‍රහය සූදානම්කර ඇති ස්ථානය පෙන්වමිනි. අවසානයේ දී ජනාධිපතිවරයා තේ පැන් සංග්‍රහයට සහභාගී වී ඉක්මනින්ම එතැනින් සමුගත්තේය.

ගලප්පත්ති තනතුරු එපා කීවේ ඇයි?

දසවැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා වශයෙන් පත් වූයේ ආචාර්ය අශෝක රන්වලය. එය ජාතික ජනබලවේගයේ තීන්දුවකට අනුව සිදුවූවකි. ඊට පෙර ඒ සඳහා යෝජනා වී තිබුණේ ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්තිය. ඔහුගේ නම මුලින්ම යෝජනා වී තිබුණේ ධීවර අමාත්‍ය ධුරයටය.

1994 වසරේ පැවැති මහ මැතිවරණයෙන් ජවිපෙ වෙනුවෙන් මුලින්ම පාර්ලිමේන්තුවට ගියේ නිහාල් ගලප්පත්තිය. සන්ධාන රජයේ ධීවර නියෝජ්‍ය ඇමතිවරයාව සිටියේද නිහාල් ගලප්පත්තිය.

 " ධීවර ඇමැතිකමට සුදුස්සා නිහාල් ගලප්පත්තියි’” මාලිමාවේ ප්‍රධානීන්ගේ සාකච්ඡාවකදී එසේ කියා තිබේ.



"නෑ මම පක්‍ෂයේ දැනට දරණ වගකීම් ටික හොඳටම කරන්න කාලය අවශ්‍යයි. " නිහාල් ගලප්පත්ති එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙන්නේ එසේ කියමිනි.

" නිහාල් අයියව අපි කතානායක කරමු” එය ජවිපෙ ප්‍රබලයකුගේ යෝජනාවකි.

''නිහාල් අයියට පාර්ලිමේන්තුවේ දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. නිහාල් අයියම තමයි සුදුසු" සෙස්සන්ගෙන් කියැවුණේ එහෙම කතාවකි. එහෙත් නිහාල් ගලප්පත්ති එම යෝජනාවටද ප්‍රතික්ෂේප කර තිබේ. ආචාර්ය අශෝක රන්වල තෝරා ගැනුණේ ඉන් පසුවය.

දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී වැඩිම කතාබහට ලක්වූයේ යාපනය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ ස්වාධීන මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ය. ඔහු එසේ කතාබහට ලක්වූයේ නවක මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවට ගිය දිනට විපක්‍ෂ නායකවරයාට වෙන්කර ඇති අසුනේ වාඩිගත් නිසාය.

පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ සම්ප්‍රදායක් තිබේ. විපක්‍ෂනායකවරයාට වෙන්වූ ආසනයක් තිබේ. එහෙත් මංගල සැසිවාරයකදී ආණ්ඩු පක්‍ෂය විපක්‍ෂය බේදයකින් තොරව ඕනෑම අසුනක වාඩිවීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට ලැබේ. එහෙත් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, විපක්‍ෂනායකවරයාට වෙන් කළ අසුන්වල කිසිවෙක් ඉඳනොගනිති.

"මන්ත්‍රීතුමා විපක්‍ෂනායක තුමාගේ ෂීට් එකේ වාඩි වෙන්නේ නෑ.

වේත්‍රධාරියකු පැමිණ මන්ත්‍රීවරයාට කීවේය.

"මට එහෙම එකක් කොහේද ලියලා තියෙන්නේ කියලා පෙන්වන්න' මන්ත්‍රීවරයා කීවේය.

“මන්ත්‍රීතුමා ඒක සම්ප්‍රදාය” චේත්‍රධාරියා යළිත් කීවේය.

"සම්ප්‍රදායක කඩන්න තමයි අපි ඇවිත් ඉන්නේ" මන්ත්‍රීවරයා කීවේය. එසේ කී ඔහු නොසෙල්වී සිටියේය.



පාර්ලිමේන්තුවට පැමිණි නවක මන්ත්‍රීවරුන්ට තෙදින පුහුණු වැඩමුළුවක් ඉකුත්දා පැවැත්විණි. අර්ජුනා රාමනාදන්ගේ ප්‍රශ්නය එහිදීත් ඇදී ආවේය. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ චමින්ද කුලරත්න නවක මන්ත්‍රීවරුන් අමතා කතා කිරිම ආරම්භ කරනවාත් සමගම අර්ජුනා රාමනාදන් මන්ත්‍රීවරයා නැගී සිටියේය. "මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් දැන් කතා කරන්න පුළුවන්ද?" මන්ත්‍රීවරයා ඇසුවේය.

"පුළුවන්...පුළුවන්" චමින්ද කුලරත්න කීවේය.

"එදා පුටු සිද්ධියෙන් පස්සේ මට දැන් පාරේ යන්න බැරි තත්වයක් ඇති වෙලා. මම කොටිද කියලා ඇහුවම "නෑ" කිව්වා. එහෙත් මට දැන් පාරේ බැහැලා යන්න බැරි තත්වයක් තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් මොකක්ද කරන්නේ” මන්ත්‍රීවරයා වීමසා සිටියේය. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න එයට මෙසේ උත්තර දුන්නේය.

'ඔබතුමා මන්ත්‍රීවරයෙක් වගේ රටේ පුරවැසියෙක්. ඒ නිසා මන්ත්‍රීතුමාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් වගකීම මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයට ආරක්‍ෂාව සම්බන්ධයෙන් යම් තර්ජනයක් තියෙනවානම් ඔබතුමා ලිඛිත ඉල්ලීමක් කරන්න. එවැනි ඉල්ලීමක් කළාම අමාත්‍යංශයේ තක්සේරුව අනුව ඔබතුමාට පොලිස් ආරක්‍ෂාව ලබාගැනීමට මෙන්ම පෞද්ගලික ගිනි අවියක් ලබා ගැනීමට අයිතිවාසිකමක් තියෙනවා.

මගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු ප්‍රශ්නය අවුලෙන් අවුලට යන බවක් පෙනේ. එයට හේතුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉකුත් 25 වැනිදා විපක්‍ෂ නායක කාර්යාලයේ දී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවූ තුෂාර ඉදුනිල් විපක්‍ෂ නායකවරයාට ලිපියක් බාර දුන්නේය.එහි මෙසේ සඳහන්ය.

කුරුණෑගල දිස්ත්‍රික්කය යනු ජනගහනය අනුව ලංකාවේ විශාලතම දිස්ත්‍රික්ක තුනෙන් එකකි. කොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙන් පසු ලංකාවේ වැඩිම ජනගහනයක් ජීවත්වන්නේ මෙම දිස්ත්‍රික්කයේ වේ. පසුගිය මහ මැතිවරණය සඳහා සමගි ජනබලවේග නියෝජනය කරමින් ඉදිරිපත් වූ අපේක්‍ෂකයන් ලබාගත් මනාප අනුව දිස්ත්‍රික්කයේ සිව්වැනි ස්ථානයට පත්ව සිටින මා ලබාගත් මනාප සංඛ්‍යාව 45151 ක්.

ඉන්පසු 05. අශෝක අබේසිංහ මහතා 29794, 06. විපුල ගුණරත්න මහතා 27556 ලෙසට මනාප ලබාගෙන ඇත. සිව්වැනි ස්ථානයේ පසුවන මා ලබා ඇති මනාප සංඛ්‍යාව හා පස්වැනි ස්ථානයට පත්ව සිටින අශෝක් අබේසිංහ මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව අතර වෙනස වන්නේ 15357 කි.

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වූ සජබ අපේක්‍ෂකයන් අතරින් මුළු ලංකාවෙන්ම 10 වැනි ස්ථානය හිමි කර ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් මම සතුටු වෙමි. කුරුණෑගල දිස්ත්‍රික්කයටත් වඩා වැඩි ජනගහනයක් ජීවත්වන කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වූ ඉරාන් වික්‍රමරත්න 38837, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය 36139, මනෝ ගනේෂන් මහතා 19013 මනාප ලබා ඇත්තේ මා ලබාගත් මනාප සංඛ්‍යාවටත් අඩුවෙනි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජන අනුපාතය හා මා ලබා සිටින මනාප සංඛ්‍යාව හා දැනට ජාතික ලැයිස්තුව මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබාදීමට යෝජනා වී ඇති අනෙක් අය ලබා ඇති මනාප සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී ඔබතුමාටත් අප පක්‍ෂයටත් ශක්තියක් ලබාදීමට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට ශක්තියක්වීම සඳහා දැනට ඉතිරිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හතරෙන් එක් අවස්ථාවක් මා වෙත ලබා දෙන මෙන් ඉතාමත් ගෞරවයෙන් ඔතුමාගෙන් ඉල්ලා සිටින අතර ඉදිරියේ දී එන පළාත් සභා මැතිවරණයේ අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වීම සඳහා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ඒ සඳහා ඕනෑම ලිඛිත පොරොන්දුවක් ලබාදිය හැකි බවත් ඔබතුමා විසින් ලබාදෙන ඕනෑම කොන්දේසියකට එකඟ වන බවත් ගෞරවයෙන් දන්වා සිටිමි.

පක්ෂ මූලස්ථානයේ හා විපක්‍ෂනායක කාර්යාලය තුළ සේවය කරන නිලධාරින් සමග පක්‍ෂයේ උන්නතිය වෙනුවෙන් ඉතාමත් සමීපව කටයුතු කළ හෙයින් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය ද විමසා සිටින්නේ නම් ඔබතුමාට ස්තූතිවන්ත වෙමි. සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා මේ දිනවල විදේශගතව සිටි. ඔහු නැවත පැමිණීමට නියමිතව තිබෙන්නේ සිකුරාදාය. ඔහු පැමිණීමෙන් පසුව තුෂාර ඉදුනිල් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත යැයි වාර්තා වේ.
(පන්දමා)