උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි අන්දමේ විශාල වත්කම් ප්‍රමාණයක් තමන් සතු කරගෙන ඇතැයි කියන අවුරා ලංකා සමාගමේ සභාපති විරාජ් තාඹුගල නමැත්තා සහ කෙටිකලකින් රුපියල් කෝටි ගණනක් මුදල් ඉපයූයේ යැයි කියන පියුමි හංසමාලි නමැත්තිය රජයට ආදායම් බදු නොගෙවීම සම්බන්ධයෙන් කරන විමර්ශනවල ප්‍රගතිය වහාම අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා දේශීය ආදායම් කොමසාරිස්වරයාට ඊයේ (11) නියෝග කළේය.
තාඹුගල හංසමාලී සහ නමැත්තන් බදු පරිපාලනයට බාධා කර අපරාධමය වරදක් කර ඇති බවට චෝදනා කරමින් දේශීය ආදායම් කොමසාරිස්වරයා විත්තිකරුවන්ට එරෙහිව පැවරු නඩු දෙක කැඳවු අවස්ථාවේ දී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.නඩු කැඳවූ අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විමර්ශන ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 190 වගන්තිය යටකේ කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දක්වමින් දේශීය ආදායම් පනතේ 122 (2) ආ වගන්තිය සමග කියැවෙන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 සහ 125 වගන්ති යටතේ විත්තිකරුවන් පදිංචිව සිටින ස්ථාන සෝදිසි කිරීමට හා
දේපළ තහනමට ගැනීම සඳහා මීට පෙර අවස්ථාවක අධිකරණයෙන් නිකුත් කළ සෝදිසි වරෙන්තුවලට අනුව තාඹුගල නමැත්තා පදිංචි තලවතුගොඩ ඔහුගේ නිවසට ගියත් ඔහු එහි පදිංචිය හැරගොස් ඇති බවට තොරතුරු ලැබුණු බව පැවසීය.
පියුමි හංසමාලී නමැත්තිය පදිංචි කොළඹ 07 වෝඩ් පෙදෙසේ නිවසට ගියත් පදිංචි නිවස සම්බන්ධයෙන් කිසිදු ව්‍යාපාරික ලේඛනයක් ඇය සතුව නොතිබු බවත් එවැනි ලේඛනයක් සොයා ගැනීමට නොහැකි වූ බවත් පැවසු නීතිඥ දිනේෂ් පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කිරීමට අවශ්‍ය හෙයින් ඒ සඳහා අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරීමට අවසර දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කිරීමට නියෝග කළේය.
( රෝෂන් තුෂාර)
0 Comments