plastic-2017

ප්ලාස්ටික්, පොලිතින්, ලන්ච් ෂීට්, ෂොපින් බෑග් භාවිතය සම්බන්ධයෙන් 2017 වසරේ සිට 2021 වසර දක්වා ගැසට් නිවේදන හයක් නිකුත් කර තිබුණත්, ඊට අදාළ නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.මේ වන විට ප්ලාස්ටික්, පොලිතින්, ෂොපින් බෑග්, ලන්ච් ෂීට් හා සැශේ පැකට් පරිසරයට අධික ලෙස එක්වීම නිසා විශාල පරිසර හානියක් සිදුවෙමින් තිබෙන බවද එම සංවිධානයේ සභාපති හේමන්ත විතානගේ මහතා සඳහන් කළේය.




දිරාපත් වන ෂොපින් බෑග් හා ලන්ච් ෂීට් පමණක් නිෂ්පාදනය කළ යුතු බවට හා භාවිත කළ යුතු බව ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත් කර තිබුණත්, වෙළෙඳපොළ තුළ තිබෙන අති බහුතරයක් ලන්ච් ෂීට් හා ෂොපින් බෑග් පරිසර හිතකාමී නොවන ඒවා බවද පැවසීය.


මීට අමතරව ෂොපින් බෑග් භාවිතය අඩු කිර්ම සඳහා භණ්ඩ මිලදී ගැනීමේදී ෂොපින් බෑග් වෙළෙඳ සැල්වලින් නොමිලේ ලබා දීම වෙනුවට යම් මුදලක් අය කරගෙන ෂොපින් බෑග් ලබා දිය යුතු බවට තීන්දුවක් ගෙන තිබුණත්, මෙතෙක් අදාළ නීතිය ක්‍රියාත්මක නොවන බවද සඳහන් කළේය.


පරිසරයට මුදාහරින ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීයකරණය කිර්මට නීතියක් සකස් වුවත්, දෛනිකව පරිසරයට එකතු වන ප්ලාස්ටික් බෝතල්වලින් එකතු කර ගනු ලබන්නේ 30%ක පමණ ප්‍රමාණයක් බවත්, ඉතිරි 70%ක ප්‍රමාණය පරිසරයට එකතු වන බවද පැවසීය.

මීට අමතරව අනෙකුත් ප්ලාස්ටික් ද්‍රව්‍ය එකතු කර ගැනීම 5%කට අඩු මට්ටමේ පවතින බවත්, සැගේ පැකට් වර්ග තහනම් කිර්මට 2021 වසරේදී තීරණයක් ගෙන තිබුණත් තවමත් සැගේ පැකට් වර්ග අලෙවි කරන බවද සඳහන් කළේය.


මේ නිසා වර්තමාන ආණ්ඩුව මේ පිළිබඳව අවධානය යොමුකර නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්, මීට අමතරව ජනතාවත් ප්ලාස්ටික් ෂොපින් බෑග්, ලන්ච් ෂීට් භාවිතය අඩුකර පරිසරය සුරක්ෂිත කර ගැනීමට අදාළ දායකත්වය ලබා දිය යුතු බවද පැවසීය.
(ඉන්දික හේවාවිතාරණ)