කතානායක නිහාල් ගලප්පත්ති
අභිනව පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රි නිහාල් ගලප්පත්ති පත් කිරීමට නියමිත බව අලුත්ම දේශපාලන ආරංචි පවසයි.
මින් ඉහත බිමල් රත්නායකගේ නම ඒ සඳහා යෝජනාවී තිබුණ නමුත් පසුව එය වෙනස්වී ඇතැයි දැනගන්නට ලැබේ.
මෙවර නිහාල් ගලප්පත්ති මනාප ඡන්ද එක් ලක්ෂ විසි පන් දහස් නවසිය අසූ තුනක් ලබමින් හම්බන්තොටින් පෙරමුණ ගෙන පාර්ලිමේන්තුවට පත් විය. ඔහු දැනට පත්ව සිටින ජාජබ රජයේ පාර්ලිමේන්තුව වැඩිම කලක් නියෝජනය කරන ලද පුද්ගලයාද වේ.
පරාජිතයෝ 30 ක් මාදිවෙල මන්ත්‍රී නිවාස වලින් පිටව යති
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.පරාජයට පත් වූ තවත් මන්ත්‍රීවරුන් 80 දෙනෙකු පමණ පිටව යෑමට නියමිතය.
ඒ අයට මන්ත්‍රී නිල නිවාසවලින් ඉවත්වන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් දැනටමත් දැනුම් දී ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 110 දෙනෙක් මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයන්හි රැඳී සිටියහ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන දින තෙක් රැඳී සිටීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් අවසර දී තිබිණ.
මේ අතර පාර්ලිමේන්තුවට අලුතෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදීමට ඇති හෙයින් ඒවා පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කළ බව පාර්ලිමේන්තු ප්‍රධානියෙක් පැවසීය.
අලුත් මන්ත්‍රීවරුන්ට තොරතුරු කවුළුවක්
10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද (19) සහ හෙට (20) තොරතුරු කවුළුවක් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ.
පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය පැවසුවේ අද සහ හෙට පෙරවරු 09.30 සිට පස්වරු 3.30 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම කවුළුව ක්‍රියාත්මක බවයි.
එහිදී සියලු මන්ත්‍රීවරුන්ට ප්‍රයෝජනවත් වන තොරතුරු ලිපි ලේඛන සැපයීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීම සහ විද්‍යුත් ඡන්ද විමසීමේ කටයුතු වලට අදාළ ඇඟිලි සලකුණු ලබා ගැනීමේ කටයුතු සිදුකිරීමට නියමිතය.
දස වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය ඉතා චාම්ව
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (21) පෙරවරු 10 ට පළමු සභා වාරය ආරම්භ වීමට නියමිත වන අතර එහිදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරවරු 11.30 ට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරනු ඇත.
දස වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය ඉතා චාම්ව සිදුකිරීමට උපදෙස් ලැබී ඇති බවයි පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළාය.
0 Comments