political-hour-9am

නියෝජ්‍ය ඇමති පමාව

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ඊයේ පෙරවරුවේ දිවුරුම් දුන් අතර ඊට ජනපති සමග අමාත්‍යවරුන් 22 දෙනෙකු ඇතුළත්ය.


නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් අනිද්දා (21) දිනයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තාවේ. ඔවුන් පළමු වරට පාර්ලිමේන්තු රැස්වීමට එදින සහභාගිවී  මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දීමෙන් පසු මෙම කටයුත්ත සිදුකරන අතර 27 ක් පමණ නියෝජ්‍ය අමාත්‍යවරුන් ප්‍රමාණයක් දිවුරුම් දෙනු ඇති බවට ආරංචි පළවූවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත. දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි කැබිනට් ඇමති ධූර හෝ නියෝජ්‍ය ඇමති ධූර පිරිනැමීමට නියමිතය.



මංගල කැබිනට් රැස්වීම
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (19) පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
අද පෙරවරු 10ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු කැබිනට් මන්ඩල රැස්වීම පැවැත්වෙන අතර නව රජය යන දිශාව හඳුනාගැනීමට මෙම රැස්වීමේදී කරන කථාබහ වැදගත් වනු ඇතැයි දේශපාලන ආරංචි පුරෝකථනය කරයි. මෙහිදී සාමූහික කටයුත්තක් ලෙස ඉදිරි සංවර්ධන වැඩ සිදුකරන ආකාරය ගැනත් ඒ ඒ විෂයන්ට අදාළව සැලසුම් සකස්කරන ආකාරය ගැනත් ජනපති උපදේශාත්මක විග්‍රහයක් කරන්නට අපේක්ෂිත බවද වාර්තා වේ.

අනුරගේ ඉන්දීය සංචාරය


ඊයේ දිවුරුම් දීමෙන් අනතුරුව මුලින්ම අමාත්‍යංශයකට ගොස් වැඩ බාරගැනීම සිදුකළේ විදේශ ඇමති විජිත හේරත්ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය මංගල රාජ්‍ය සංචාරය සඳහා දෙසැම්බර් මස මැද භාගයේදී ඉන්දියාවට යාමට නියමිත බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ ප්‍රකාශ කළේය.


ජනාධිපතිවරයා සිය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව දිවුරුම් දීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී, ජනාධිපති දිසානායක මහතාට අන්‍යෝන්‍ය වශයෙන් පහසු දිනයක ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනාවක් කළේය.


පාර්ලිමේන්තු වරප්‍රසාද කප්පාදුවක්

පාර්ලිමේන්තුවේ අධික පිරිවැය අවම කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන වරප්‍රසාද අඩු
කිරීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා විය.
වාර්තා වන අන්දමට මෙය ක්‍රියාත්මක කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙතෙක් භුක්ති විඳි වාහන දීමනාව, විශ්‍රාම වැටුප්, නිවාස දීමනාව ඇතුළු මුල්‍ය ප්‍රතිලාභ කප්පාදු කිරීමට අදාළ යෝජනාවක් එම කමිටුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවසේ.



මෙම අදියරේදී පාර්ලිමේන්තුවේ වාර්ෂික අයවැය රුපියල් බිලියන 4-5 අතර පරාසයක පවතී.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප්, දීමනා සහ වරප්‍රසාද සඳහා පමණක් රුපියල් බිලියනයක් වැය වන බව වාර්තා වේ.