නෙළුම් මාවතේ පොදුජන පෙරමුණේ කාර්යාලය තුළ බරසාර සාකච්ඡාවකි. පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම්, සංජීව එදිරිමාන්න, තිස්ස කුට්ටිආරච්චි, පී. වීරසිංහ මෙම සාකච්ඡාවට එක්වී සිටියහ.
“මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සමාන කරන්න පුළුවන් නායකයෙක් මේ රටේ ඉන්නවද? එතුමා අවුරුදු තිහක යුද්ධය නැති කළා. මොන තරම් තර්ජනයක් එතුමට තියෙනවද? අනික අනුර කුමාර ජනාධිපතිවරයට වගේ මහින්ද ජනාධිපතිතුමාට හෙල්මට් බළකායක් නෑ" සාගර කාරියවසම් කීවේය.
මහින්ද ජනාධිපතිතුමාට දීලා තියෙන්නේ ජීප් දෙකයි. බයික් දෙකයි ත්‍රීවිල් එකකුයි විතරයි. මේක මහින්ද ජනාධිපතිතුමාට කරන අපහාසයක්'' සංජීව එදිරිමාන්න කීවේය.
‘‘මහින්ද ජනාධිපතිතුමාට මෙහෙම සලකනකොට අනාගතයේ බිහිවන කිසිම නායකයෙක් ජීවිත අවදානමක් අරගෙන වැඩ කරන්නේ නෑ. ත්රස්තවාදයේ අඳුරු හෙවණැලි දැන් හොල්මන් කරන්න පටන් අරගෙන. ඒ නිසා මහින්ද ජනාධිපතිතුමාගෙන් පලිගන්න බලාගෙන ඉන්න අයට මේක හොඳ අවස්ථාවක්. ඒ තත්ත්වය උදාකරන්න එපා කියලා අපි ආණ්ඩුවට බල කරමු" සාගර නැවතත් කීවේය.
'' ඔය ත්‍රීවිල් එකනම් ගැළපෙන්නේ ආණ්ඩුවටමයි. මොකද කැබිනට් එකේ ඉන්නෙත් තුන්දෙනානේ'' තිස්ස කුට්ටිආරච්චි කී කතාවට කවුරුත් සිනාසුණහ.
''පී. වීරසිංහ මන්ත්‍රීවරයා කීවේ වෙනත් කතාවකි. ‘‘මහින්ද ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට මේ ගොල්ලෝ කිව්වේ සහෝදර සමාගම කියලනෙ. හැබැයි බලනකොට ඇත්ත සහෝදර සමාගම තියෙන්නේ දැන්. මේ ගොල්ලන්ට කියන්නේ සහෝදරවරු කියලනේ." ඒ කතාවටත් හැමෝම සිනාසුණහ.
“ආණ්ඩුව ඇවිල්ල මාසයයි'' හැබැයි ෆේස් බුක් එකෙන් රිදෙන්නම ගහනවා. ඒවා සැලසුම් කරපුවා නොවෙයි. ඒ හින්ද ජනාධිපතිවරයා මාධ්‍යයට තර්ජනය කරන්නත් පටන් අරගෙන. මම නම් කියන්නේ මේක දිට්ඨධම්මවේදනීය අකුසල කර්මය කියලයි '' සංජීව එදිරිමාන්න නැවතත් කීවේය.
‘‘සංජීව ඔයා ප්‍රෙස් එකක් තියලා මේක රටට කියන්න'' සාගර යළි කීවේය.
ඒ අතර මාධ්‍ය හමුවක් කැඳවූ සංජීව එදිරිමාන්න මෙසේ කීවේය.
‘‘මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ට ආරක්ෂාවක් ලබාදීලා තිබෙන්නේ එතුමා හිටපු ජනාධිපතිවරයෙක් නිසා පමණක් නොවේ. එතුමා මේ රට ත්‍රස්තවාදයෙන් බේරගත්ත නායකයා සහ ඒ වික්‍රමාන්විත ක්‍රියාන්විතයේ සේනාධිනායකයා. ඒ සේනාධිනායකයා විදිහට ත්රස්තවාදයක් අවසන් කරලා නායකයකුට ලැබෙන ආරක්ෂාවක් තමයි එතුමාට ලැබිලා තිබෙන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සම්පූර්ණ වශයෙන් මර්දනය කරන්නේ මේ ලෝකයේ තිබුණු බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානය. එල්.ටී.ටී.ඊ. එල්.ටී.ටී.ඊ. ලෝකයේ බිහිසුණුම භයානකම සංවිධානය බව කිව්වේ ලංකාවේ යුද හමුදා ක්‍රියාන්විත මූලස්ථානය නොවේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ එස්බීඅයි එක. ඒ අය කිව්වා මේ ලෝකයේ ක්‍රියාත්මක බිහිසුණු සංවිධානය එල්. ටී.ටී.ඊ. සංවිධානය කියලා. මහ මුහුදේ මරාගෙන මැරෙන ප්‍රහාර කියලා ජාතියක් ලෝකයේ වෙන කිසිදු ත්‍රස්තවාදී සංවිධානයක තිබ්බේ නැහැ. ළමා සොල්දාදුවන් භාවිත කිරීම සම්බන්ධව එල්.ටී.ටී.ඊ. අනුගමනය කළ කුරිරු තත්වය කිසිදු ත්‍රස්තවාදී සංවිධානයක අනුගමනය කරලා තිබුණේ නැහැ. මේ සාධක දෙකත්, ඒ වගේම පාබලව ප්‍රහාර එල්ල කරමින් දැවැන්ත යුද ශක්තියක් සහිත ත්‍රස්තවාදී සංවිධානයක් තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් පරාජය කළේ. දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ මහා පොළොවෙන්, උඩුගුවනින්, මහ මුහුදෙන් ප්‍රහාරයකට ලක්වෙච්ච රටක් මේ ලෝක සිතියමේ තිබෙනවා නම් ලංකාව පමණයි. අපිට මහින්ද ජනාධිපතිතුමා බේරලා දුන්නේ ඒ තරම් බිහිසුණු ත්‍රස්තවාදී සංවිධානයයි. එල්.ටී.ටී.ඊ. කියන්නේ ලෙහෙසි
පහසු ත්‍රස්තවාදී සංවිධානයක් නොවේ. අහිංසක මිනිස්සු, ගැබ්බර මව්වරු, පුංචි දරු පැටවු මරලාදාපු සංවිධානයක්. ලෝකයේ දැවැන්තම ප්රජාතන්ත්රවාදී රාජ්‍යයේ අගමැතිවරයාව මරා දමපු සංවිධානයක්. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක්ව මහා පාරේ මරාදාපු සංවිධානයක්.
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරපු සංවිධානයක්. ඒ සියල්ල මත තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ මොහොතටත් අදාළ සුවිශේෂී ආරක්ෂාවක් හිමිවිය යුත්තේ. චර්චිල් අගමැතිතුමා දෙවැනි ලෝක යුද්ධයෙන් බ්‍රිතාන්‍ය බේරගත්තට පස්සේ මහා බ්‍රිතාන්‍යය එතුමාගේ මුළු ජීවිත කාලයටම එතුමාට අවශ්‍ය ආරක්ෂාව දුන්නා. එක් අවස්ථාවකදී බ්‍රිතාන්‍යයේ චර්චිල් අගමැතිතුමගේ බාල දියණිය මේරි ඇය ලියනවා අගමැතිතුමාට විශේෂ ලිපියක්. ඒ ලිපියේදී දියණිය කියනවා “අගමැතිතුමනි, මම ඔබට අසීමිත ලෙස ගරු කරමි. ඒ මා ඔබගේ දියණිය නිසා නොවේ ඔබ විසින් නිදහස් කරපු මහා බ්‍රිතාන්‍යයේ පුරවැසියෙක් නිසා"
අද මම ප්රවෘත්ති සාකච්ඡාවට පැමිණෙන්නෙත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුගාමිකයෙක් නිසා නොවේ, එතුමා විසින් බේරපු රටේ පුරවැසියෙක් විදිහට පැමිණෙන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ ආරක්ෂාව හිමිවිය යුතුමයි. කෙනෙක්ට ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන් එල්. ටී.ටී.ඊ, සංවිධානය ඉවරයිනේ කියලා. භෞතික වශයෙන් උතුරේ, නැගෙනහිර මේ ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය මර්දනය කළාට ඊට අදාළ දෘෂ්ටිවාදය මේ ලෝකයේ අවසන් නැහැ. ඇයි යුරෝපයේ යුනිඑන් එකේ රටවල් 27ක් අදටත් එල්.ටී.ටී.ඊ. තහනම් කරලා තිබෙන්නේ? ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, මැලේසියාව, ඉන්දියාව එල්.ටී.ටී.ඊ. තහනම් කරන්නේ ඇයි? මේ දෘෂ්ටිවාදය සජීවීව අදටත් ලෝකයේ පවතින නිසා. එසේනම් මහින්ද රාජපක්ෂ මැගිතුමාට ආරක්ෂාව හිමිවිය යුතු නැත්ද?
කිසියම් පුද්ගලයකුට ආරක්ෂාවක් අලුතින් එකතු කරන්නේ හෝ පවතින ආරක්ෂාව අඩු කරන්නේ ආරක්ෂාවට අදාළ නිශ්චිත, විද්‍යාත්මක
සහිත තක්සේරුවකින් තක්සේරුවකින් පසුවයි. එහෙත්
මේ තොරතුරු ආණ්ඩුව එහෙම තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කළාද? මහින්ද ජනාධිපතිතුමාට මොකක් හරි වුණොත් ඒක මේ ආණ්ඩුව බාරගත යුතුයි". සංජීව මාධ්‍ය හමුවේදී එසේ කීවේය.
මෙවර මහ මැතිවරණය ශ්‍රී ජයවර්ධනපුර සරසවියට විශේෂ වී තිබේ. ඒ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් 16 දෙනෙකු අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වී සිටීමය. මාලිමාවේ පිරිස පමණක් නොව මාලිමාවට සම්බන්ධ නැති ජ'පුර ආදි විද්‍යාර්ථීහු ඒ ඒ දිස්ත්‍රික්කවල මාලිමාවේ ජ'පුර සගයන් දිනවීම සඳහා කඳවුරු බැඳ සිටිති. කොළඹ දිස්ත්‍රික්කයේ තරග වදින දේවානන්ද සුරවීර හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වදින උපුල් අබේවික්‍රම යන ජ'පුර ආදී විද්‍යාර්ථීන්ගේ ජය තහවුරු කිරීම පිණිස මහරගම නගරයේත් ගම්පහ නගරයේත් ජපුර ආදි විද්‍යාර්ථීහු ඉකුත්දා රැස්වූහ. මෙම අවස්ථා දෙකටම ජ'පුර ආදි විද්‍යාර්ථීහු පන්සියයකට වැඩි පිරිසක් සහභාගී වී සිටීම විශේෂ සිද්ධියක් විය.
ඉල් මහ විරු සැමරුම සෑම නොවැම්බර් මසකම 13 වැනිදාට උත්කර්ෂවත් ලෙස පැවැත්වීම ජනතා විමුක්ති පෙරමුණෙත් පෙරටුගාමීන්ගේ පක්ෂයේත් සිරිතය. එහෙත් මෙවර ඉල්මහ සැමරුම ප්‍රසිද්ධියේ පැවැත්වීමට නොහැකි වී තිබේ. ඒ මහ මැතිවරණය නොවැම්බර 14 වැනිදාට යෙදී තිබීම නිසාය.
ජන අරගල සංවිධානයේ පොලොන්නරු දිස්ත්‍රික් අපේක්ෂක ඉන්ද්‍රානන්ද ද සිල්වා මේ සම්බන්ධයෙන් පක්ෂයේ අවධානය යොමු කිරීමට කටයුතු කළේය. “89 න් පස්සේ හිරගෙවල්වලත් ඉල්මහ සැමරුම කළා. ඒත් ඉතිහාසයේ පළමුවතාවට ජේ.වී. පී. එකේ ආණ්ඩුවක් තියෙන වෙලාවක ඉල්මහ සැමරුම කරන්න බැරිවෙලා බැරිවෙලා තියෙනවා. ඒ මැතිවරණ නොගත යුතු කාලය එන නිසා. අනුර කුමාර ජනාධිපතිවරයට පුළුවන්කම තිබුණා මේ දිනය පහු කරලා මහ මැතිවරණය තියන්න. ඒත් ජනාධිපතිවරයා හිතාමතාම ඒක කළා" ඉන්ද්‍රානන්ද සිල්වා කීවේය.
“මේකනේ... මේගොල්ලන්ට දැන් ඉල්මහ සැමරුම කරන්න බෑ. මොකද අපේ සහෝදරයන් ඝාතනය කරපු ඝාතනයන් තමයි ත්‍රිවිධ හමුදා සාමූහිකය ඇතුළේ ඉන්නේ'' දුමින්ද නාගමුව කිවේය.
“අපි 11 වැනිදා ඉල්මහ සැමරුම කරමු. අපි එදාට කියමු රෝහණ සහෝදරයා ඇතුළු ඝාතනය කළ සියලු සහෝදරවරුන් වෙනුවෙන් පූර්ණ බලැති කොමිසමක් පත් කරන්න කියලා'' පුබුදු ජාගොඩ කීවේය.
“මේ ගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. අනුර කුමාර ජනාධිපති වෙච්ච වෙලාවේ රෝහණ සහෝදරයගේ නම කියන්න තත්පරයක්වත් ගත්තේ නෑ. රෝහණ සහෝදරයගේ නම කියන්න එයාට සදාචාරාත්මක යුතුකමක් තිබ්බා" ඉන්ද්‍රානන්ද යළිත් කීවේය.
ඉන්ද්‍රානන්ද සිල්වා යනු හිටපු හමුදා සෙබළෙකි. යුද හමුදා පොලිසියේ සේවය කළ ඉන්ද්‍රානන්ද යුද හමුදාවේ මාධ්‍ය අංශයේ ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කළේය. රෝහණ විජේවීර අත්අඩංගුවට ගෙන ඔබ්ස් කොම්බයින් මූලස්ථානයට රැගෙන ආ අවස්ථාවේ රෝහණ විජේවීරගේ ඡායාරූපය ගනු ලැබුවේ ඔහුය. පසුව දීර්ඝ කාලයක් සිර දඬුවම් විඳ නිදහස් වී පැමිණ ජවිපෙ පූර්ණ කාලීන දේශපාලනයේ යෙදෙමින් උතුරු මැද පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රී කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කළේය. පසුව කුමාර් ගුණරත්නම්ලා සමග එකතු වුණ ඉන්ද්‍රානන්ද මෙවර ජන අරගල සන්ධානයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයට ඉදිරිපත්ව සිටී.
උදය ගම්මන්පිල ඉකුත් දිනවල දේශපාලන බෝර් කිහිපයක්ම පුපුරවා හැරියේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධ කොමිසන් වාර්තා දෙකක් පදනම් කරගෙන බෝම්බ දෙකක් පුපුරවා හැරිය උදය ඊළඟට පුපුරවා හැරියේ ආර්ථික බෝම්බයකි. “මේ ආණ්ඩුව ඉතිහාසයේ වැඩිම ණය ගත්ත ආණ්ඩුව බවට ඉතිහාසගත වෙනවා'' ගම්මන්පිල කීවේය.
කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් කියා සිටියේ මෙවැන්නකි.
'' ඔය කතා බොරු. අපි ශතයක්වත් ණය අරගෙන නෑ."
උදය ගම්මන්පිලට මාලිමාවේ ප්‍රබලයකු වන, නාමල් කරුණාරත්න හමුවූවේ දේශපාලන වැඩසටහනකදීය.
'' ඔබත් කියනවද මේ ආණ්ඩුව ණය ගත්තේ නෑ කියලා" ගම්මන්පිල ඇසුවේය.
“කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක විජිත හේරත් සහෝදරයා කිව්වේ කිසිම ණයක් ගත්තේ නෑ කියලා. ඒ ප්‍රකාශය වෙනුවෙන් මම පෙනී සිටිනවා.’ නාමල් කරුණාරත්න කීවේ එහෙම කතාවකි.
උදය ගම්මන්පිල සටන අතහැරියේ නැත. ඔහු ඇමති විජිත හේරත්ට ප්‍රසිද්ධියේ අභියෝගයක් කළේය.
“මම තනියෙන් එනවා. ඔයා කැමති කෙනෙක් අරන් එන්න. පාළු ගෙවල්වල වළං බිඳ වැඩක් නෑ. විජිත. ඔබ නැහැ කිව්වට මම ඔප්පු කරනවා මාලිමා ආණ්ඩුව තොග පිටින් ණය ගත්ත බව." උදයගේ අභියෝගයට ඇමැති විජිතගෙන් තවම පිළිතුරක් නැත.
(පන්දමා)
0 Comments