ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කුදා ප්‍රහාරය වළක්වා නොගත් බවට චෝදනා කරමින් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව මහාධිකරණයේ පවරා තිබූ නඩුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය ප්‍රකාශයට පත් කළ තීන්දුව බලරහිත කළ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එම නඩුවේ විත්තිවාචක කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට ඊයේ (05) නියෝග කළේය.
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් විත්ති වාචක නොකැඳවාම නිදොස් කොට නිදහස් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත් කළ තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ගොනු කළ අභියාචන පෙත්සම් දෙකක තීන්දුව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියෝග කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන,
යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ, මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම මගින් සිය රාජකාරිය පැහැරහැර සාපරාධී මිනීමැරුම් සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එවකට පොලිස්පතිව සිටි පූජිත ජයසුන්දර මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව අධිචෝදනා 855 ක් යටතේ නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ වෙන් වෙන් ව නඩු පවරා තිබුණි.
නීතිපතිවරයාගේ ඉල්ලීමකට අනුව අගවිනිසුරුවරයා විසින් අදාළ නඩු විමසීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන් වන නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්සදීන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කෙරුණ අතර, එම විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත් නඩු දෙකේ පැමිණිල්ලේ සාක්කි විභාගය අවසානයේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම්වලට අනුව විත්තියේ සාක්කි කැඳවීමකින් තොරවම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කෙරිණි.
2021 පෙබරවාරි 18 වැනිදා ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කරමින් පැමිණිල්ලේ සාක්කි විභාගය අවසානයේදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වගන්තිය යටතේ විත්තියේ සාක්ෂි කැඳවීමෙන් තොරව මෙම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීම නීතිවිරෝධී මෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වගන්තියට පටහැනි බව සඳහන් කරමින් නීතිපතිවරයා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි. පැමිණිල්ලේ සාක්කි විභාගය අවසානයේ දී විත්තියේ සාක්ෂි කැඳවීමෙන් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට නියම කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත් කළ තීන්දු බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි නීතිපතිවරයා මෙම අභියාචන පෙත්සම් දෙක ඉදිරිපත් කර තිබිණි.
මෙම අභියාචන පෙත්සම් විභාග කළ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් අදාළ තීන්දුව විවෘත අධිකරණයේ දී ප්‍රකාශයට පත් කළේය.
විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එල්ල කළ මෙම සිද්ධිය හුදෙක් තනිපුද්ගල මිනීමැරුමක් නොවන බවත් අතිවිශාල ජන සංඛ්‍යාවක් මරණයට පත් කළ ඉතා සංකීර්ණ සිදුවීම් මාලාවක් බවත් පෙන්වා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙවැනි නඩුවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින විත්තිකරුවන් විත්තිවාචක නොකැඳවාම නිදහස් නොකළ යුතු බව තම අධිකරණයේ මතය බව ද තීන්දුවේ සඳහන් කළේය.
පෙත්සම්කාර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරුන් වන සුදර්ශන ද සිල්වා සහ දිලීප පීරිස් යන මහත්වරුන් සමග අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා පෙනී සිටියේය.වගඋත්තරකාර හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා ද වග උත්තරකාර පූජිත ජයසුන්දර මහතා වෙනුවෙන් නීතිඥ විදුර රණවක මහතා සමග නීතිඥ රොෂාන් දෙහිවල මහතා ද පෙනී සිටියහ.
( රන්ජන් කටුගම්පොල)
0 Comments