ranil-angry-defeat

 ජනාධිපති අනුර කුමාර දිසානායක මහ මැතිවරණ ප්‍රතිඵලය රූපවාහනියෙන් නරඹමින් සිටියේ පැලවත්තේ පිහිටි ජවිපෙ මූලස්ථානයේ සිටය. ඒ ඒ දිස්ත්‍රික්කවල ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය නිරීක්‍ෂණය කළ යුතුවූ හෙයින් ජවිපෙ නායකයෝ ඒ ඒ දිස්ත්‍රික්වලම රැඳී සිටියහ.ලාල් කාන්ත සිටියේ මහනුවරය. මැදියම් රැයට ආසන්න වනවිට ලාල්කාන්ත ජනාධිපති අනුරට දුරකථන ඇමතුමක් ගත්තේය.


“අනුර සහෝදරයා" මහනුවර තත්වය ඉතාම හොඳයි. ජනාධිපතිවරණයේදී අපි ගත්ත ඡන්වලට අනුව අපිට ආසන 8 ක් තියෙනවා. මේ යන විදියට ඒක 9 ක් වෙනවා. සමහර විට 10 ක් වෙන්නත් බැරි නෑ" ලාල් කාන්ත කීවේය.


"ලාල් සහෝදරයා, මම මේ තොරතුරු බලමින් ඉන්නේ. මට පේන විදියට මුළු ආසන සංඛ්‍යාව 150 පනී.” ජනාධිපති අනුර කීවේය.

ජනාධිපති අනුර කිව්වා සේම මාලිමාවට තුනෙන් දෙක ඉක්මවා ගිය බලයක් ලැබිණි. උතුරේ සහ නැගෙනහිරත් - වතුකරයේත් බලය ඇල්ලීමට මාලිමාව සමත් විය.


ජවිපෙ නායකයන් ඒ ඒ දිස්ත්‍රික්කවල රැඳී සිටිය හෙයින් ජවිපෙ මූලස්ථානයේ ජනාධිපති අනුර සමග රැඳී සිටියේ සුළු පිරිසකි. ඔවුන් අතර ජනාධිපති අනුරගේ සරසවි මිතුරෝ සිටියහ. ඔවුන්ගේ සාකච්ඡාවල මාතෘකාව වූයේ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණයේදී අත්පත් කරගත් ජයග්‍රහණය සහ මැතිවරණයේදී අත්පත් කර ගනිමින් සිටි විජයග්‍රහණය පිළිබඳවය.


"ඇත්තටම මම මැරෙන්න හිටියේ මේ සමාජය වෙනස් කරන්න පොර බැදූ මිනිසකු හැටියටයි. හැබැයි මම මැරෙන්නේ ඒ බලගතු අරමුණ ජයග්‍රහණය කළ මිනිසකු හැටියටයි." ජනාධිපති අනුර හැඟුම්බරව එසේ කියනවිට එතැන සිටි සැවොම සංවේදී වූහ.


"සියවස් ගණනක් අප දුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසකු එනවා." එතැන සිටි සරසවි සගයකු එසේ තාලයට කියනවිට ද සියල්ලෝම සංවේදී වූහ.


මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය නිකුත් වීමත් සමග ජනාධිපති අනුර එක්ස් පණිවිඩයක් තබමින් මෙසේ කියා තිබිණි.


"පුනරුද යුගය ඇරැඹීමට සහයා දුන් සැමට ස්තූතියි."




මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිටියේ විස්සෝපයෙනි. ඔහු මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ දේශපාලන කාර්යාලයට ආවේය.

කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්‍ෂ උග්‍ර රනිල්වාදියකු මෙන්ම යූ.එන්.පී. වෙනුවෙන් ඕනෑම වෙලාවක බෙල්ල දීමට සූදානම් අයෙකි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කාර්යාලයට ඇතුල්වනවාත් සමගම දුටුවේ කිත්සිරි රාජපක්‍ෂය.


"කිත්සිරි! මැදකොළඹ මොකද වුණේ? කෝ ඡන්ද?" රනිල් වික්‍රමසිංහ ඇසුවේය.


“සර්! තව ඡන්ද පන්දාහක් ගත්තානම් සාගල රත්නායක සර් ඇතුලේ.'' කිත්සිරි කීවේය. මෙම පිළිතුරට හිටපු ජනාධිපතිවරයාගේ කෝපය තවත් වැඩිවිය.


“බහුබූත කතා කියන්න එපා. ඡන්ද කොච්චර අඩුද? කැම්පේන් එක හරිම වීක් " එහෙම කියපු හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ

කීවේය.


“ඩොක්ටර් රාජිත විතරයි පොලිටික්ස් කතා කළේ. ජාතික ප්‍රශ්න ගැන කතා කළේ ඩොක්ටර් විතරයි. අනික් අයත් ජාතික තලයේ දේශපාලනය කරත්ත ඕනෑ".


“මට කාචනව අරගෙන දෙන්න" හිටපු ජනාධිපතිවරයා ආරක්‍ෂකයකුට කීවේය. හිටපු ජනාධිපතිවරයා කංචන යැයි කීවේ හිටපු අමාත්‍ය කංචන විජේසේකරටය. "සර්! කංචන ඇමතිතුමා ලයින් එකේ ඉන්නවා” ආරක්‍ෂකයා දුරකථනය රනිල් අතට දෙමින්

කීවේය.


"ඕයා පරාදයි නේද? ඇත්තටම හරිම කනගාටුවක් තියෙන්නේ. දේශපාලනයේ හැටි එහෙම තමයි. ඔයා දක්‍ෂයෙක් දක්‍ෂ තරුණයෙක්, ඔයා දිගටම අපිත් එක්කම දේශපාලනය කරන්න. හෙට ඉඳන්ම එළියට බහින්න" හිටපු ජනාධිපති රනිල්, කංචන විජේසේකරට කීවේය. මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරයට බෝනස් මන්ත්‍රී ධුර දෙකක් ලැබිණි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට පක්‍ෂ ගණනාවක් සම්බන්ධ හෙයින් මන්ත්‍රීධුර බෙදීයාම ගැන සාකච්ඡාවක් ඇති විය. "එක මන්ත්‍රී ධුරයක් යූ.එන්.පී.යට. අනික් මන්ත්‍රී ධුරය පොහොට්ටුවෙන් ආපු කෙනකුට." හිටපු ජනාධිපති රනිල් කීවේය.


"අපේ මන්ත්‍රී ධුරය තලතා ඇතුකෝරළට දෙමු" ගාල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන කීවේය. වජිර එසේ කීවේ එම මන්ත්‍රී ධුරයට සාගල රත්නායක පත් කරනු ඇති බවට කසුකුසුවක් ඒවනවිට පැතිර යමින් තිබූ හෙයිනි.

මෙම සාකච්ඡා යන අතරේ ලැබුණු ආරංචියකින් සියල්ලෝම වික්‍ෂිප්ත වූහ. ආරංචියෙන් කියැවුණේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු මන්ත්‍රී ධුර දෙකෙන් එකකට රවි කරුණානායක පත් කළ බවට ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවය.


“ඒක අපේ පක්‍ෂය දන්නෙවත් නෑ. ඒක නීති විරෝධියි. අපි රවි කරුණානායකගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කරනවා" වජිර අබේර්ධන කීවේය.


මහ මැතිවරණ පරාජයෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි මෙසේ සඳහන්ය.


සමස්ත ශ්‍රී ලංකාවාසී ආදරණීය, ප්‍රගතිශීලී, පොදුජන හිතවතුන්

වෙත.




නිමාවට පත් ජනාධිපතිවරණයෙන් අනතුරුව පක්‍ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුහුණ දුන් 2024 මහා මැතිවරණයේදී වඩාත් විශ්වාසනීය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අත්වැල් බැඳගත් සුවහසක් සහෘද ජනතාව වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මාගේ කෘතඥතා පූර්වක ස්තූතිය පුද කරමි. මෙවර මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බහුතර බලයක් හිමි කරගනිමින් නව රජයක් පිහිටු වීමට වරම් දිනාගත් ජාතික ජන බලවේගය වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සුභාසිංශන පිරිනැමීමට මෙය අවස්ථාවක් කරගන්නෙමි. ඔබ වෙතින් ජනතාව අපේක්‍ෂා කළ වෙනස කිරිම සඳහා මේ ජනවරම නව මාවතක් වනු ඇත. රට මුහුණ දී ඇති ආර්ථික, සමාජයීය, අර්බුද කළමනාකරණය කර ගැනීම උදෙසාත්, වඩාත් ජනහිතවාදී පාලනයක් උදෙසාත් මේ ලැබූ ජයග්‍රහණය ඔබ විසින් උපයෝගී කරගනු ඇති බවට

විශ්වාස කරමි. එහිදී ශක්තිමත් විපක්‍ෂයක භුමිකාව උදෙසා නිබඳව කැපවෙමින්, සාධනීය, ජනහිතවාදී ක්‍රියාමාර්ග උදෙසා නොපැකිලිව රජය සමග එක්ව කටයුතු කිරිමට අප කිස්සේත්ම පසුබට නොවන්නෙමු. රටත් ජනතාවත් යහපත් තැනකට ඔසවා තැබීම වෙනුවෙන් ලබාදුන් පොරොන්දු එලෙසම ඉටු කරනු ඇති බව විශ්වාස කරන්නෙමි.


විශේෂයෙන්ම පටු දේශපාලන අරමුණු කේන්දු කරගනිමින් පක්‍ෂයක් ලෙසත්, පෞද්ගලිකවත් අප වෙත එල්ල වූ පදනම් විරහිත අභූත චෝදතා විවිධ චෝදනා, මේ රජය යටතේ නිවැරදි කරගනිමින් වඩාත් සුපිරිසුදු දේශපාලන පක්ෂයක් ලෙස, වඩාත් ශක්තිමත් කණ්ඩායමක් ලෙස ඉතිරි මැතිවරණවලට මෙන්ම, ඉදිරි දේශපාලන ගමනට සැලසුම් සහගතව මුහුණදීම සඳහා වූ වැඩපිළිවෙළකට අපි

එළඹ සිටින්නෙමු. අලුත් වූ පක්ෂ්‍යක් ලෙස අප ජනතාව ඉදිරියේ තැබූ වැඩපිළිවෙළ නව විශ්වාසයකින්, බලාපොරොත්තු සහිතව පිළිගත් ප්‍රගතිශීලී ජනතාව වෙනුවෙන් අදටත් වඩා සවිමත්ව හෙට දිනයේ පෙනී සිටීමට මෙම ගමන සවිමත්ව පෙරට ගෙන යන්නෙමු. වඩාත් ජනතාවාදී දේශපාලන සංස්කෘතියක්, ස්ථාවර දේශපාලන ප්‍රතිපත්තියකින් හෙබි දේශපාලන පක්‍ෂයක් ලෙස හෙටද අප ඔබ වෙනුවෙන් පෙනී සිටින්නෙමු.




එහිදී සෑම විටම ජනතාවාදී දේශපාලන පක්‍ෂයක් ලෙස අපගේ

ප්‍රතිපත්ති, ඒකීය ස්වෛරී රටක් වෙනුවෙන් මෙහෙයවන්නට නොබියව කැපවන බවටත් සෑම විටම ඒ වෙනුවෙන් පෙනී සිටිනා බවටත් අප විශ්වාස කළ සමස්ත ශ්‍රී ලංකාවාසී පොදු ජන හිතවතුන් වෙත සපථ කර සිටින්නෙමු.


ඔබ සැමට තෙරුවත් සරණයි, දෙවි පිහිටයි!


දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුත් සර්ව ජන බලය පක්‍ෂයට එක් බෝනස් මන්ත්‍රී ධුරයක් ලැබිණි. එම මන්ත්‍රී ධුරයට දිලිත් ජයවීර පත් කර තිබේ. මේ අතර සර්ව ජන බලය පක්‍ෂය සමග දේශපාලනය කළ යුතුකම සංවාද කවයේ නායක ගෙවිඳු කුමාරතුංග නිවේදනයක් නිකුත් කර තිබේ. එහි මෙසේ සඳහන්ය.


"ඔබ මෙවර මහ ඡන්දවයෙන් ඉවත්වීම නුවණැති තීරණයක් විය.” මේ මගේ සමකාලීන සරසවි මිතුරෙකු ඒවා තිබූ පණිවිඩයක්! දැන් ඇත්තට ම සිදුවුණේ කුමක්ද?


රට. මේ ගැන දැනගත යුතු බව මගේ අදහසයි. අඩුම තරමින් යුතුකම හිතවතුන්.


මම මහා මැතිවරණයෙන් ඉවත් වුණා ද?


ඇත්තටම මම ඉවත් වුණා යන්නට වඩා, ඉදිරිපත් වීමට නොහැකි තැනට කටයුතු යෙදුණා යන්න සත්‍යයට ළඟය. කටයුතු යෙදුවා යන්න වඩාත් නිවැරැදි විය හැකි ය.


සර්වජන බලය අපේ අභිලාෂය වුණේ නව දේශපාලන සංස්කෘතියක්; දූෂිත මජර දේශපාලනය පිටුදකින නව දේශපාලනයක්. අපි නිවැරැදිව කටයුතු කළා නම්, ජාතික ජන බලවේගය වර්තමානය වනවිට, සර්වජන බලයට අනාගතය විය හැකි ව තිබුණා.


උත්තර ලංකා සභාගය ලෙස සන්ධාන ගත වූ පක්‍ෂ, පොදුජන පෙරමුණෙන් වෙන්වෙන්නේන්ම, විපක්‍ෂයේ වාඩිවෙන්නේම පොහොට්ටුව නිවැරැදි කරගන්න දරන ප්‍රයන්තය තුළ- රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුවට අපි එකතු නොවන්නේත්, සජිත් ප්‍රේමදාස විපක්‍ෂ නායකතුමා හා එකතු නොවන්නේත්, ඒ ජරාජීර්ණ වෙමින් ඇති පක්‍ෂ සන්ධාන වෙනුවට නව දේශපාලන බලවේගයක් රටට අවශ්‍ය බව දැක්ක නිසා. සර්වජන බලයෙන් බලාපොරොත්තු වූයේ ඒ අපේක්‍ෂා වඩාත් ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යෑම.


මම ජනාධිපතිවරණයේ අවසානයත් සමග දිලිත් ගේ ක්‍රියාකාරිත්වයෙහි දක්නට ලැබුණු ප්‍රතිපත්ති විරහිත භාවය ප්‍රශ්න කළා. දහම් සිරිසේන ගැනීමට මම එරෙහි වූ බවට පුවත්පත් ඕප- දූප ආදියෙහි වූයේ මේ ප්‍රශ්න කිරිමයි.

දහම් සර්වජන අපේක්‍ෂා වෙනුවෙන් කැපවූ තරුණයෙක්ද? ප්‍රශ්නය වූයේ දහම් සිරිසේන ගැනීම පමණක් නොවේ; දහම් ආවේ මෛත්‍රී සමඟ, ඒ විතරක් ද? සිරිසේනලාට පොළොන්නරුවේ නායකත්වය දීමට රොෂාන් රණසිංහ කළුතරට යොමු කළා. දහම් ගත්තත් ඔහුට රොෂාන් ගේ නායකත්වය යටතේ තරග කිරිමට කිව යුතු නැද්ද?


දිලිත්ලා ගේ පක්‍ෂයේ අනුරාධපුර නායකයා හා ගැටුමක් නිසා චන්න ජනාධිපතිවරණයේදී වැඩ කළේ නෑ. මහ මැතිවරණයේදී චන්න, දිලිත් ගේ පක්‍ෂයටම එකතු වුණා. එතකොට චත්ත අනුරාධපුරයට නායකත්වය දිය යුතු නැද්ද? ඒ වෙනුවට ව්‍යාපාරික මිතුරාට අනුරාධපුර දී, චන්න ගම්පහට දැම්මා. ඊළඟට ගම්පහින් පොහොට්ටුවේ මන්ත්‍රී මිලාන්වත් ගත්තා. ඇයි” දිලිත් ගම්පහින් ඉල්ලන්න හිතාගෙන ප්‍රාදේශීය දේශපාලනඥයන් හා සම්බන්ධයක් ගොඩනගා ගැනීම විය යුතුයි. දිලිත් ගම්පහින් ඉල්ලන්නේ අහවල් දේකට ද?


මේ ප්‍රතිපත්ති විරහිත කඩිමුඩිය නිවැරැදි කරගැනීමට මම උත්සාහ කළා. දිලිත් නිවැරැදිවීම වෙනුවට යුතුකම මඟහැර කටයුතු කළා. දේශපාලන සන්ධානයක් වූ සර්වජන බලයේ මූලික එකගතාවලට පිටුපා, මගේ විරෝධය නොතකා, කොමියුනිස්ට් පක්‍ෂයේ වෛද්‍ය වීරසිංහ ලේකම් ලෙස හා වලේල්බොඩ භාණ්ඩාගාරික ලෙස පත් කරගත්තා. ඔවුන් ද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සිහිනයක ගිලෙමින්, සිටියා. විමල් රැස්වීම්වලට සහභාගීවීමෙන් වැළැකුණ අතර, උදය මා කී කරුණු අනුමත කරමින් නිවැරැදි වන ලෙස දිලිත් ගෙන් ඉල්ලා සිටියත්, ඊට සවන්දීමක් කෙරුණේ නෑ. නාමයෝජනා අභිමුව අපට කිසිම විකල්පයකට ඉඩක් තිබුණෙත් නෑ. යුතුකම සංවාද කවයේ විධායක සභාව ඒ මොහොතේ දිලිත් සර්වජන බලය පිළිබඳව මගේ විවේචනය රට හමුවේ තැබීමට එකඟ වූයේ නෑ. මම එහි සභාපතිකමින් ඉල්ලා අස්වුණා. කොහොමත් වසර දහයකට ආසන්න කාලයක් යුතුකමට නායකත්වය දුන් නිසා, මහ මැතිවරණයට පසු මම සභාපති ධුරයෙන් සමුගැනීමට අදහස් කරගෙනයි හිටියේ. එය සතුටුදායක ලෙස ඉටුකරගැනීමට නොහැකිවීම ගැන කණගාටු වෙමි.


යුතුකමේ මැදිහත්වීම් සාර්ථක කරගැනීමට නන් අයුරින් මා හට සහාය දුන් මිතුරු-මිතුරියනි, සගයෙනි, තුති!


- පන්දමා