ranil-court

විදේශ සමාගම් දෙකකින් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් මිලදී ගැනීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කර ඇති බව ඔහු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ රෝලන්ඩ් පෙරේරා මහතා අභියාචනාධිකරණයට ඊයේ (06) දැනුම් දුන්නේය.






පෙත්සම්කාර සමාගම මෝසමක් ගොනුකරමින් කළ ඉල්ලීමකට අනුව පසුගිය නොවැම්බර් 09 වැනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර ඇති බව රෝලන්ඩ් පෙරේරා මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.   විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් මිලදී ගැනීමට   එරෙහිව දැනට අධිකරණයෙන් පනවා ඇති අතුරු නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලා වගඋත්තර සමාගම්  කළ ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතා සහ ප්‍රතිවිරෝධතා ගොනුකිරීමට අවසර දුන් අභියාචනාධිකරණය අතුරු තහනම් ඉල්ලීම සම්බන්ධයෙන් තහවුරු කිරීමට පෙත්සම දෙසැම්බර් 09 වැනිදා කැඳවීමට ද නියෝග කළේය.


අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවිණි.‘එපික් ලංකා’ පුද්ගලික සමාගම ගොනුකර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන්  වශයෙන් තසෙස්’ සමාගම, ‘ජස්ටි ටයිම්’ සමාගම, ආගමන විගමන පාලකවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.



 

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත්ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලන්නැයි පෙත්සම්කාර සමාගම මීට අවස්ථාවක කළ ඉල්ලීමක් සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ විදේශ ගමන් බලපත්‍ර හත්ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීම වළකාලමින් පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විරාන් කොරයා මහතා කරුණු දක්වමින් පෙත්සම සම්බන්ධයෙන් ප්‍රතිවිරෝධතා ගොනුකිරීමට තමන් සූදානම් බවත් පෙත්සම හැකි ඉක්මනින් විභාගයට ගත යුතු බවත් කීය.


වගඋත්තරකාර සමාගම් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥවරුන් කරුණු නියෝගය දක්වමින් අතුරු තහනම් හේතුවෙන් තමන්ට විශාල අගතියක් වී ඇති බවත් මෙම කොන්ත්‍රාත්තුව තමන්ට ප්‍රදානය කර තිබියදී ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමෙන් තමන් තො අපහසුතාවට පත්වී ඇති හෙයින් අතුරු නියෝග ඉල්ලීම ඉවත දැමීම

සම්බන්ධයෙන් හැකි ඉක්මනින් විභාගයක් පවත්වන්නැයි ඉල්ලා සිටියහ. එම ඉල්ලීම් පිළිගනිමින් අතුරු නියෝගය සම්බන්ධයෙන් විරෝධතා ප්‍රතිවිරෝධතා ගොනුකිරීමට අවසර දුන් අධිකරණය අතුරු නියෝගය සම්බන්ධ කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම දෙසැම්බර් 09 වැනිදා කැඳවීමට නියෝග කළේය.
(රන්ජන් කටුගම්පොළ)