ranil-kdu

 මහ මැතිවරණයේදී දේශපාලන පළපුරුද්දක් සහිත පුද්ගලයන් පාර්ලිමේන්තුවට නොයැව්වොත් රටත් පසුගිය දා බදුල්ලේදී පෙරළුණු කොතලාවල සරසවියේ බස් රිය වගේ වනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

පසුගිය සෙනසුරාදා කොළඹ ටොරින්ටන් ආකේඩ් පරිශ්‍රයේදී ප්‍රදර්ශනය කළ ත්‍රී ඉඩියට්ස් හින්දි චිත්‍රපටය නැරැඹීමට පැමිණ එහි සංවාදයකට එළැඹුණු හිටපු ජනාධිපතිවරයා එහිදී තරුණයෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කළේ ය.

ඔහු තවදුරට ත් ප්‍රකාශ කළේ, තමන්ට යළි පාර්ලිමේන්තුවට පැමිණීමේ අවශ්‍යතාවක් නැති බව ත් ගෑස් සිලින්ඩරයෙන් ඉදිරිපත් වන අත්දැකීම් ඇති පුද්ගලයන් පාර්ලිමේන්තුවට පත් කළ යුතු බව ත් ය.

ලෝකයේ වෙනත් කිසිදු රටක් නොකළ අකාරයෙන් බිඳ වැටී තිබූ රට යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා තමන්ට මේ කණ්ඩායම උදව් කළ බව ත් ඔවුන්ට පළපුරුද්දක් තිබෙන බව ත් එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

එහිදී ඇතිවූ සංවාදය මෙසේ ය.



ප්‍රශ්නය –හිටපු ජනාධිපතිතුමා ඔබතුමා සිකුරාදාට චිත්‍රපටයක් බලනවා ඒක තාම බලනව ද?

දැන් ඉතින් ඕනේ දවසක බලන්න පුළුවන් නේ.. කිසි ප්‍රශ්නයක් නැහැ.

ප්‍රශ්නය – ඒ කියන්නේ දැන් ඉස්සරට වඩා නිදහස වැඩි ද?

“ඔව්. දැන් ඉතින් නිදහස තියෙනවා. කොහොමත් ඉතින් ඒ කාලෙත් බැලුවා, සුමානෙට සැරයක් දෙසැරයක් විතර.”

ප්‍රශ්නය – මෙච්චර ලංකාවේ පෙන්වන්න ෆිල්ම් තියාගෙන 3 Idiots පෙන්වන්නේ කවුද? කවුද 3 Idiots?

දන්නේ නෑ කවුද තේරුවේ කියලා. සාමාන්‍යයෙන් මේක විහිළු චිත්‍රපටයක්නේ. දැන් ඔබ හිතන්නේ කවුද 3 Idiots? මට එහෙම එකක් නැහැ මම ඒකයි ඇහුවේ.”

ප්‍රශ්නය – සිනමාවේ ක්‍රෂ් එකක් හිටිය ද? ඉන්නව ද?

මොකක්ද ක්‍රෂ් එක කියන්නේ. අපේ කාලේ තිබුණේ ඔරේන්ජ් ක්‍රෂ් විතරයි.

ප්‍රශ්නය – බැරි වෙලාවත් මේ පාර්ලිමේන්තු මැතිවරණය ඉවර වෙලා පාර්ලිමේන්තුවට පත්වුණ මන්ත්‍රීවරයෙකු කීවොත් එහෙම මම ඉල්ලා අස්වෙලා ඔබතුමාට දෙනවා කියාල. ඔබතුමා කොහොම හරි එනවද?

“මම අහනවා ඒ මන්ත්‍රීවරයාගෙන් ඔයා මගේ හතුරෙක් ද කියලා.”



ප්‍රශ්නය – ඒ කියන්නේ ඔබතුමා පාර්ලිමේන්තු යන එක සියදිවි නසාගැනීමක් ලෙස ද සලකන්නේ?

නෑ. මම දැන් පාර්ලිමේන්තුවේ හිටියා ඇති. මම හිතන්නේ දැන් අපේ මේ සිලින්ඩරයෙන් එහෙම අලුත් කණ්ඩායමක් ඇති කරන්න ඕනේ. මොක ද මේ අය විතරයි අද රටේ පළපුරුදු අය ඉන්නේ. ආණ්ඩුවේ කවුරුත් නැහැ පළපුරුදු අය. මේ අය දැන් අවුරුදු තුන හතරක් වැඩ කළා. කවුරුත් නැති වෙලාවේ මට උදව් කළා මේක අවුරුදු දෙකකින් හරවා ගන්න. මම හිතන්නේ ලෝකේ සිඝ්‍රයෙන් බංකොලොත් බවින් පිට වුණ රට තමයි ලංකාව. ඉතින් මේ යන විදිහට කොහේ යයිද කියලා අපි දන්නේ නැහැ. අර KDU බස් එක වාගේ පෙරළෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ දන්න අය, පළපුරුදු අය එවන්න පාර්ලිමේන්තුවට.”

ප්‍රශ්නය – ඒ කියන්‍නේ 14 වන දායින් පස්සේ පළපුරුදු නැති අය එනවා කියන එක ඔබ නිගමනය කරලාද තියෙන්නේ මේ වෙද්දි?

“නෑ සමහරු කියනවා ඔක්කොම ගෙනල්ලා දාන්න කියනවා පළපුරුදු නැති අය. දැකලා තියෙනවාද? මේක හරියට සැඟවුණු අමුත්තා වගේ”