මහ මැතිවරණයේ දී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරවලින් එකක් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවකට පැමිණ තිබූ බව එම පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නීය.නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ ඒ එකගතාවට අනුව යැයිද අදාළ නම් යෝජනා කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා යැවූ බවද එම නිවේදනයේ සඳහන් වේ.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ලේකම්වරිය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ. ඉහත කාරණය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය වන පදනම් විරහිත අසත්‍ය තොරතුරු මාධ්‍ය සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම නිසා සමාජය තුළ කැළඹීමක් සිදු කෙරෙමින් පවතින බව පෙනේ. එබැවින් මේ පිළිබඳ සත්‍ය පසුබිම පැහැදිලි කිරීමට අපේක්ෂා කරමු.
2014 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරිම අරමුණු කර, පොදුජන එක්සත් නිදහස් පෙරමුණ (කුසලානය) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන එක්සත් පෙරමුණ (පුටුව) නව සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සමග සන්ධානගතවීමට එකග විය. ඒ අනුව අප පක්ෂයේ නිල ලාංඡනය වූ 'හංසයා' ගෑස් සිලින්ඩරය ලෙස වෙනස් කර ගැනීමටත් පක්ෂ ව්‍යවස්ථාවේ ඇතැම් සංශෝධන සිදුකර ඒ සඳහා අවශ්‍ය පරිසරය සකස් කර දෙන ලෙසත් අප වෙත එම පක්ෂ විසින් ඉල්ලීම් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ඉහත සඳහන් පක්ෂ සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණි.
එකී ගිවිසුමේ 05 වැනි උපලේඛනයට අනුව මැතිවරණ ප්‍රතිඵලවලට අදාළව ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරවලින් අවම වශයෙන් එක ධුරයක් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ විසින් නම් කරනු ලබන අපේක්ෂකයකු හට ලබාදීමට එකඟවී ඇත. පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අතර නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් හිමිවිය. පක්ෂ අතර ගිවිසගත් ආකාරයට ඉන් එක් ධුරයක් නම් අප පක්ෂය විසින් කරනු ලබන අපේක්ෂකයකුට ලබාදීමේ අවස්ථාව අප පක්ෂයට ලැබී ඇත. එබැවින් 2024 නොවැම්බර් 17 වැනිදා රැස්වූ පක්ෂයේ කෘත්‍යාධිකාරී විධායක කමිටුව විසින් එම මන්ත්‍රී ධුරයට ජාතික ලැයිස්තුවෙන් නාම යෝජනා ලබාදී තිබූ රවී කරුණානායක මහතා නම් කිරීමට ඒකමතිකව තීරණය කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 1994 ආරම්භ කරන විට හංසයා සලකුණ යටතේ අභාවප්‍රාප්ත ශ්‍රීමනී ඇතුලත්මුදලි මහත්මියගේ නායකත්වයෙන් මෙම පක්ෂය ලියාපදිංචි කරන ලදී. අනතුරුව පැවති මැතිවරණයේදී පොදුජන පෙරමුණ සමග සන්ධානගතවී තරග කර මන්ත්‍රී ධුර 4ක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 2ක් දිනාගන්නා ලදී. ඒ අවස්ථාවේ පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරනු ලැබුවේ රවී කරුණානායක සහ කේසරලාල් ගුණසේකර යන මහත්වරුන් දෙදෙනාය. ඔවුන් 2000 වර්ෂයේ සිට වසර 5ක කාලයක් පාර්ලිමේන්තුවේ අප පක්ෂය නියෝජනය කළේය. නැවතත් 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් අප පක්ෂය ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් නම් කිරීමේ අවස්ථාව ලැබී ඇත. මේ කරුණු සැලකිල්ලට ගනිමින්, දිවංගත නායක ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාගේ සමීප අනුගාමිකයකු වූ තවමත් අප පක්ෂයට කෙරෙහි ලැදිව කටයුතු කරන රවී කරුණානායක මහතාට මේ අවස්ථාව ලබාදීම සුදුසු බව පක්ෂයේ ඒකමතික තීරණයයි. 2010, 2014 පැවැති ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වූ සරත් ෆොන්සේකා මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් මෙන්ම, 2019 සජිත් ප්‍රේමදාස මහතාටත් අප පක්ෂයේ සලකුණ වූ හංසයා යටතේ තරග කිරීමේ අවස්ථාව සලසා දුන් බවද පක්ෂයේ අනන්‍යතාව පිළිබඳව කතා කරන අයට සිහිපත් කර දීමට මෙය අවස්ථාව කර ගනිමි.
සන්ධානගත පක්ෂ සහ අප පක්ෂය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම ප්‍රකාරව අප පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු ධුරයට අයකු නම් කිරීමට අපට ඇති අයිතිය අනුව ක්‍රියා කිරීම වරදක් හෝ අත්තනෝමතික ක්‍රියාවක් ලෙස යමකු දකින්නේ නම් අපට කිව හැක්කේ අප විසින් අවබෝධතා ගිවිසුමට පරිබාහිරව හෝ ඊට හානි වන කිසිවක් සිදු කර නොමැති බවය. 2014 නොවැම්බර් 18 වන දින වන විට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නම් කළ යුතුව තිබුණ නමුදු ඒ වන තෙක් සන්ධානයේ සෙසු පක්ෂවල නියෝජනය මා වෙත දැනුම් දී නොතිබුණ බැවින් අප පක්ෂය විසින් ගන්නා ලද තීරණය වූ රවී කරුණානායක මහතාගේ නම් මැතිවරණ කොමිසන් සභාව වෙත බාරදීමට කටයුතු කළෙමු. ඊට පෙරාතුව, අප පක්ෂය විසින් ස්ථිර කරනු ලැබූ යෝජනාව රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත දැන්වීමට කටයුතු කළෙමු. මෙම ජාතික ලැයිස්තු අපේක්ෂකයා නම් කිරීමේ දී අප විසින් කිසිදු අනීතික හෝ අවබෝධතා ගිවිසුමට එරෙහිව කිසිදු ක්‍රියාවක් සිදුකර නොමැති අතර අප විසින් ක්‍රියාත්මක කළේ අපට ඇති අයිතිය පමණක් බව අවධාරණය කරමු.
පසුගිය දින කීපය තුළ අප පක්ෂය සන්ධානයේ හවුල්කාර පක්ෂයක් නොවන, කිසිදු ඡන්ද පදනමක් නැති නිරතුරුව පක්ෂ මාරු කරන පහත් පෙළේ, සදාචාරයක් නොමැති නර්තතාරේ යන කණ්ඩායම් සහ පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට අපට කීමට ඇත්තේ කණ්ණාඩියක් ඉදිරියට ගොස් බලා ගන්නා ලෙසය. ඔවුන්ගේ වාචාලවලට පිළිතුරුදීමට කල් ගතකිරිම කාලය නාස්ති කිරිමක් ලෙස දකිමු.
0 Comments