පළපුරුදු දේශපාලනඥයෙකුවූ රවී කරුණානායක කණ්ඩායමට හොරෙන් තමන්ගේ නම මන්ත්‍රී ධූරයක් සඳහා ලියවා ගැනීම ගැන දැන් දේශපාලන ක්ෂෙත්රය කළඹන්නට හේතුවී ඇත.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ රවීකරුණානායකට අයත් එකක් වීමත් එහි ලේකම් ඔහුගේ කීමට අවනතව මෙම නීතිමය ලියවිල්ල කොමිසමට යවා තිබීමත් නිසා ගැටලුව උග්‍රවිය.
තවත් මන්ත්‍රී ධූරයක් සඳහා පක්ෂයට අවස්ථාව ඇති අතර කල් ඇතිව එක් නමක් 'සළු' කරගන්නට රවී කටයුතු කළේය.
ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර අර්බුදය ගැන විවිධ අයුරින් කොළඹදී සාකච්ඡා පැවැත්වූ නමුත් අවසන් තීරණයක් ගැනීමට නොහැකි වී තිබේ.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යොමුකර තිබූ අතර ඉතිරි මන්ත්‍රි ධුරය පොහොට්ටුවෙන් ආ කන්ඩයමින් පිරවිය යුතු නමුත් ඒ සඳහාද මේ දක්වා නමක් යෝජනා වී නොමැත.
ඉතිරි මන්ත්‍රි ධුරයට හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කළ යුතු බවට එහි හවුල්කාර පක්ෂවලින් යෝජනා වී තිබුණි. කිහිප දෙනෙකුම ඒ ගැන අදහස් පළ කර සිටියේ නැගී එන තරුණ මන්ත්‍රීවරයෙකු ලෙස කංචනට අවස්තාව ලබාදිය යුතු යයි කියමිනි.
මන්ත්‍රි ධුරය හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාට ලබාදිය යුතු බවට එහි නායකත්ව මණ්ඩලයෙන් සහ පක්ෂ නායකයන්ගෙන් යෝජනා ඉදිරිපත්ව තිබේ.
මේ අතර හිටපු විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය ඔස්සේ පාර්ලිමේන්තුවට යැවිය යුතු බවට අවධාරණය කරමින් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ‘එක්ස්’ පණිවිඩයක් නිකුත් කර ඇත.
ජාතික ජන බලවේග බහුතරයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන නිසා අත්දැකීම් ඇති විපක්ෂයක අවශ්‍යතාව පවතින බවත් කංචන විජේසේකර වැනි දක්ෂ හා අත්දැකීම් ඇති අය පාර්ලිමේන්තුව තුළ සිටිය යුතු බවත් තොණ්ඩමන් මහතා එම එක්ස් පණිවුඩය ඔස්සේ පෙන්වා දෙයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල්පාරේ පිහිටි දේශපාලන මෙහෙයුම් කාර්යාලයේ ඊයේ(19දා) පැවැති සාකච්ඡාවකදී ද මෙම යෝජනාව ඉදිරිපත්ව ඇත.
ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදයට විසදුමක් ලබා ගැනීමට පැවැති මෙම හමුව ද එකඟතාවකින් තොරව අවසන් වී ඇත.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මියද මෙම සාකච්ඡාවට එක්ව තිබේ.රමේෂ් පතිරණ, කංචන විජේසේකර, නිමල් ලන්සා, බන්දුල ගුණවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, පවිත්‍රා වන්නිආරච්චි, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, මධුර විතානගේ, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඇතුළු පිරිසක් මෙම රැස්වීමට සහභාගි වූහ.
නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජාතික ලැයිස්තුව පිළිබඳ අවසන් තීරණය අද (20) දිනය තුළ ගන්නා බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙම සාකච්ඡාවෙන් අනතුරුව පැවැසීය.
රට පිළිගන්නා කෙනකුට ලැයිස්තුවේ මන්ත්‍රි ධුර ලබාදිය යුතු බවත්, එම මන්ත්‍රි ධුරය ලබා ගැනීමට තමාගේ අදහසක් නොමැති බවත් ඔහු කීය.
තරුණ මන්ත්‍රි කණ්ඩායමකට අවස්ථාව ලබාදිය යුතු යැයි කියමින් හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බව ද වාර්තාවේ.
මේ අතර බත්තරමුල්ල, රජමල්වත්ත පිහිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතාගේ නිවෙස අසල කිසියම් කණ්ඩායමක් විරෝධයක් සිදුකිරීමේ සූදානමක් ඇති බවට ලැබුණු තොරතුරක් අනුව එම ස්ථානයට ඊයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි. මෙයට හේතුවී තිබුනේ අසාද් සාලි මහතා කියා තිබූ තර්ජනාත්මක ප්‍රකාශයක් බවද පැවසිණි. රවිගේ නිවස වටකර හෝ යුක්තිය ලබාගත යුතු බව ඔහු කියා තිබුණි.
එසේම තවත් කණ්ඩායමක් පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිට ලබන 22 වැනිදා උද්ඝෝෂණයක් සංවිධානය කර ඇත.
0 Comments