රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රහස් පොලිස් හිටපු අධ්යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18) ප්‍රතික්ෂේප කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් අනුව ඉදිරිපත් කර නොමැති මෙම පෙත්සම පවත්වාගෙන යෑමට නොහැකි බව සඳහන් කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිස්නා වර්ණකුල මහත්මිය ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම ප්‍රතික්ෂේප කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, දිලීප් නවාස් සහ ප්‍රියන්ත පුනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රහස් පොලිස් හිටපු අධ්යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටියහ.බම්බලපිටිය මුහුදුබඩ මාර්ගයේදී බීමත්ව රියපදවා අනතුරක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2023 ඔක්තෝබර් 29 වැනිදා වැල්ලවත්ත පොලිසිය තමන් අත්අඩංගුවට ගත් බවත් අනතුරුව ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කර කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පොලිසිය කටයුතු කළ බවත් පෙත්සම්කරු සඳහන් කර ඇත.
කිසිදු ජීවිත හානියක් හෝ රජයේ දේපළකට කිසිදු හානියක් නොවූ එම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තමන්ට ඇපදීමට පොලිසියට හැකියාව තිබුණත් පොලිසිය අසාධාරණ සහ අයුක්ති සහගත ලෙස තමන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට
කටයුතු කළැයි සඳහන් කරන පෙත්සම්කරු මෙම සිද්ධිය හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් දෙන්නයි ද ඒ වෙනුවෙන් සුදුසු වන්දියක් නියම කරන්නැයි ද ඉල්ලා සිටී.
පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිස්නා වර්ණකුල මහත්මිය කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ රිති 44 ආ වගන්තියට අනුව පෙත්සම්කරු, පෙත්සම ඉදිරිපත් කර නොමැති බවත් ඒ වෙනුවට ඉදිරිපත් කර ඇත්තේ අභියාචන පෙත්සමක ඉල්ලීමක් බවත් පෙන්වා දුන්නාය. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ පූර්වාදර්ශ නඩු දෙකක් ඇති බවත් ඒ අනුව මෙය බරපතළ වරදක් බවත් ඒ අනුව මෙම පෙත්සම පවත්වාගෙන යෑමට නොහැකි බවත් කී දිස්නා වර්ණකුල මහත්මිය අනිවාර්යයෙන්ම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය බැඳී සිටින බවත් පෙන්වා දුන්නාය.පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවි වෛද්‍යාලංකාර මහතා තමන් අතින් වරදක් සිදුව ඇති බැවින් වරද නිවැරැදි කිරීමට අවස්ථාව දෙන්නැයි ඉල්ලා සිටියේය.
ඒ අවස්ථාවේ දී අධිකරණය ඇමතූ විනිසුරු එස්. තුරේරාජා මහතා පෙත්සම
ගොනුකර වසරක කාලයක් ඉකුත් වී ඇති බවත් පුර්වාදර්ශ නඩු තීන්දු අනුව පෙත්සම විභාගයට ගැනීමට හැකියාවක් හෝ සංශෝධනයක් කිරීමට අවස්ථාවක් දීමට හැකියාවක් හෝ නොමැති බව පෙන්වා දෙමින් පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කරන බව දැනුම් දුන්නේය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ රවී වෛද්‍යාලංකාර මහතා පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිස්නා වර්ණකුල මහත්මිය පෙනී සිටියාය.
(රන්ජන් කටුගම්පොල)
0 Comments