නිෂ්පාදිත දිනය වසර දෙකහමාරකට ඉදිරියට දමා ඇසුරුම් කර තිබූ ආනයනික සහල් කිලෝග්‍රෑම් 17,925ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සොයාගෙන තිබේ.මෙම ආනයනික සහල් තොගය වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබියදී සොයාගත් බවත්, ඉන්දියාවේ නිෂ්පාදිත 25kg ඇසුරුම්වල අසුරා ඇති එම සහල් ඇසුරුම්වල නිෂ්පාදකයා විසින් සඳහන් කර තිබූ නිෂ්පාදිත දිනය 2022 ජනවාරි ලෙස සටහන්ව තිබු බවත් අධිකාරිය පෙන්වා දෙයි.
නිෂ්පාදිත දිනයේ සිට වසරක් තුළ භාවිත කිර්ම කළ යුතු බව ඉන්දියානු නිෂ්පාදකයා සඳහන් කර තිබියදී ලංකාවේ සහල් ආනයනය කර තිබූ ව්‍යාපාරිකයා විසින් එම අසුරනවල නිෂ්පාදිත දිනය වෙනස් කරමින් 2024 ජුනි ලෙස ඉදිරි දිනයක් යොදා වෙනත් ලේඛලයක් සහිතව එම සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබූ බවද පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
පෙරේදා (25දා) සිදුකළ වැටලීමකදී සොයාගත් මෙම සහල් අසුරනවල මුද්‍රිතව තිබූ මිල ගණන් සහ බර ප්‍රමාණ ද ලේබල මගින් වෙනස් කර කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක රහසිගතව තබා ගනිමින් මෙම සහල් ඉදිරි උත්සව සමයෙහිදී වෙළෙඳපොළට බෙදාහැරීමට සැලසුම් කොට ඇති බව අනාවරණය වී ඇත.මෙම වැටලීමේදී නිෂ්පාදිත දිනය වෙනස්කළ සහල් සහිත 25kg ඇසුරුම් 717ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගනු ලැබ ඇති අතර චූදිතයන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවර්මට නියමිතය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙම උත්සව සමයෙහි, දිවයිනපුරා විශේෂ වැටලීම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට ඇති අතර එහිදී වෙළෙඳුන් විසින් සිදුකරන මෙවැනි වංචනික ක්‍රියා සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරනු තිබේ.උත්සව සමයෙහිදී ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් විසින් තොරතුරු වෙනස් කරන ලද භාණ්ඩ වෙළෙඳපළට නිකුත් කිරීම වැළැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් තොග ගබඩා පර්ක්ෂා කිරිම අඛණ්ඩව සිදු කරනු ලබන අතර භාණ්ඩ මිලදී ගැනීමේදී ඇසුරුමෙහි සඳහන් තොරතුරු පිළිබඳව සැලකිලිමත් වන ලෙසත්, ඇසුරුමෙහි පවතින තොරතුරු කිසියම් වෙනසකට ලක්කොට ඇතිදැයි විමසිලිමත් වන ලෙසත් ඉල්ලා සිටියි. එවැනි භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් සම්බන්ධව තොරතුරු 1977 කෙටි දුරකථන අංකයට දන්වන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එච්. අයි. තුෂාර
0 Comments