russia-ukraine-drone-attacks

රුසියාව සහ යුක්රේනය යුද්ධය ආරම්භයේ සිට සිදුවූ විශාලතම ඩ්‍රෝන ප්‍රහාර එකිනෙකාට එරෙහිව මේ දිනවල සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මොස්කව් වෙත ළඟා වෙමින් සිටි ඒවා ඇතුළුව කලාප හයක් හරහා පැමිණි යුක්රේන ඩ්‍රෝන 70ක් අතරමග දී වළක්වා ගත් බවයි. මේ හේතුවෙන් අගනුවර ප්‍රධාන ගුවන්තොටුපොළ තුනකින් ගුවන් ගමන් හැරවීමට පවා සිදු විය.



යුක්රේන ගුවන් හමුදාව පැවසුවේ රුසියාව රටේ සියලු ප්‍රදේශ වෙත ඩ්‍රෝන 145ක් දියත් කළ බවත්, ඒවායින් බොහොමයක් බිම හෙළා ඇති බවත්ය.

මෙම ප්‍රහාර සිදු වන්නේ ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් ගැටුම අවසන් කිරීමට දෙපාර්ශවයටම පීඩනය යොමු කරනු ඇතැයි අපේක්ෂා කරන අවස්ථාවකය.

යුක්රේනයේ මොස්කව් වෙත එල්ල කළ ප්‍රහාරය යුද්ධය ආරම්භයේ සිට අගනුවරට එල්ල කළ විශාලතම ප්‍රහාරය ලෙස වාර්තා වන අතර, කලාපයේ ආණ්ඩුකාරවරයා විසින් එය "දැවැන්ත" ලෙස විස්තර කර ඇත.

රුසියානු අගනුවර අසල ඩ්‍රෝන බිම හෙළීමේදී එක් පුද්ගලයෙකු තුවාල ලැබූ බව වාර්තා විය. සමාජ මාධ්‍යවල පළ වූ ඡායාරූපවල නිවාසික ගොඩනැගිල්ලක් ගිනිගෙන තිබූ අයුරු පෙන්නුම් කෙරිණි.

නිලධාරීන් පැවසූ පරිදි ඩ්‍රෝන බොහොමයක් රමෙන්ස්කොයේ, කොලොම්නා සහ දොමොදෙදොවො දිස්ත්‍රික්කවල දී බිම හෙළන ලදී.

සැප්තැම්බර් මාසයේදී රමෙන්ස්කොයේ සිදු වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් කාන්තාවක් මිය ගියාය.

පසුගිය වසරේ මැයි මාසයේදී මොස්කව් මධ්‍යයේ ක්‍රෙම්ලින් අසල ඩ්‍රෝන දෙකක් විනාශ කරන ලද අතර මොස්කව් සිටි ව්‍යාපාරික දිස්ත්‍රික්කයට කිහිප වතාවක් ඩ්‍රෝන ප්‍රහාර එල්ල විය.

යුක්රේනයේ ඔඩෙසා කලාපයට ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් දෙදෙනෙකු තුවාල ලැබූහ. ඡායාරූපවල පෙන්නුම් කළේ සමහර ගොඩනැගිලිවලින් ගිනි දැල් නැගෙන අයුරු සහ හානියට පත් වූ ස්වභාවයයි.

AFP පුවත් ඒජන්සිය විසින් Institute for the Study of War දත්ත විශ්ලේෂණයට අනුව, රුසියානු හමුදා 2022 මාර්තු මාසයෙන් පසු විශාලතම භූමි ප්‍රදේශ ජයග්‍රහණය ඔක්තෝබර් මාසයේදී සිදුකර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, බීබීසී හි Sunday with Laura Kuenssberg වැඩසටහනට අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය හමුදා ප්‍රධානී සර් ටෝනි රැඩ්කින් පැවසුවේ යුද්ධය ආරම්භයේ සිට රුසියාව හට දරුණුතම හානි සිදුවූ මාසය ඔක්තෝබර් බවයි.

ඔහු පැවසූ පරිදි ඔක්තෝබර් මාසයේදී රුසියානු හමුදාවට "සෑම දිනකම" සාමාන්‍යයෙන් 1,500ක් පමණ මිය ගිය හා තුවාල ලැබූ සංඛ්‍යාවක් වාර්තා කර තිබේ.