shantha-premaratne-prisoned

 පුත්‍රයාට විදුලිබල මණ්ඩලයේ රැකියාවක් දීමට මවගෙන් රුපියල් 50,000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතාට වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 10,000ක දඩයක් නියම කරමින් කොළඹ මහාධිකරණය නියම කළ නියෝගය සහ දඬුවම් අභියාචනාධිකරණය ඊයේ (05දා) තහවුරු කළේය. අදාළ චෝදනාවන්ට තමන් වරදකරු කරමින් කොළඹ මහාධිකරණය නියම කළ නියෝගය සහ දඬුවම් ඉවත දමන්නැයි ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතා ගොනු කළ අභියාචනා පෙත්සම නිෂ්ප්‍රභ කළ අභියාචනාධිකරණය කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නියම කළ නියෝගය සහ දඬුවම් තහවුරු කළේය.




අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළහ.2007 නොවැම්බර් මස පළමුවැනිදාත් දෙසැම්බර් 26 වැනිදාත් අතර කාලයේ අම්පාරේදී විදුලිබල මණ්ඩලයේ රැකියාවක් ලබාදෙන බව බවසා ජී. පුංචිනෝනා නමැත්තියගෙන් රුපියල් 50,000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබිණි.


එම නඩුව විභාග කිරීමෙන් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනාවන්ට ඔහු වරදකරු බවට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා, ඔහුට වසර හතරක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් 10,000ක දඩයක් නියම කළේය. එම මහාධිකරණ තීන්දුවට එරෙහිව හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතා ඉදිරිපත් කළ අභියාචනය විභාග කිරීමෙන් අනතුරුව,

අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතාගේ එකඟත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරු පී. කුමාරන් රත්නම් මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.


වෘත්තියෙන් නීතිඥයෙකුද වන පෙත්සම්කාර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා, 2007 වසරේදී පුත්‍රයාට විදුලිබල මණ්ඩලයේ රැකියාවක් ලබාදීමේ පොරොන්දුව මත කාන්තාවගෙන් රුපියල් 50,000ක අල්ලසක් ඉල්ලා භාර ගැනීම සම්බන්ධයෙන් විත්තිකාර අභියාචකයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවරා තිබූ චෝදනාවන්ට ඔහු වරදකරු කළ මහාධිකරණ විනිසුරුවරයා, ඔහුට නියම කළ දඬුවමට එරෙහිව මෙම අභියාචනය ගොනු කර තිබිණි.


පැමිණිල්ලේ සාක්ෂි සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී නොමැති බවත්, විත්තියේ සාක්ෂි නිසි ආකාරයට ඇගයීමට ලක්කර නොමැති බවත්, තමන් වරදකරු කරමින් මහාධිකරණය දුන් තීන්දුව දෝෂ සහිත බවත් සඳහන් කරමින් අදාළ තීන්දුව බලරහිත කරන්නැයි ඉල්ලමින් පෙත්සම්කරු මෙම අභියාචනය ගොනු කර තිබුණත් පැමිණිල්ලේ සාක්ෂි සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී නොමැති බවට විත්තිකාර අභියාචක ඉදිර්පත් කළ තර්කය පිළිගත නොහැකි බව පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය නිකුක් කළ තීන්දුවේ සඳහන් වේ.




ඉදිරිපත් වූ සාක්ෂිවල පරස්පරතා මහාධිකරණ විනිසුරුවරයා විසින් ඉතා පැහැදිලිව විශ්ලේෂණය කර ඇති බව අභියාචනාධිකරණයේ මතය බව තීන්දුවේ සඳහන් කළ විනිසුරු මඬුල්ල, මෙම තත්වය අනුව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශයට පත් කළ තීන්දුව වෙනස් කිර්මට අවශ්‍යතාවයක් නොමැති බවද තීන්දුවේ සඳහන් කළහ.ඒ අනුව අභියාචනය නිෂ්ප්‍රභ කළ අභියාචනාධිකරණය මහාධිකරණ තීන්දුව අනුමත කළේය.වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටියේය.
(බුද්ධිමාල් රුබේරු)