sjb-ranjith-nominates-for-national-list

වෙනදා රොතු පිටින් පාර්ලිමේන්තුවට ගිය ඇතැම් පක්ෂ මෙවර ඉතා සීමිත ආසන ගණනක් දිනාගත් නිසා ආසනයට දෙකට කුලල් කාගන්නා තත්වයට වැටී ඇති බව මේ දිනවල දේශපාලනයෙන් ඇසෙන දුක්බර කතාවයි.
ගෑස් සිලින්ඩරයේ ඇතුළත මෙන්ම ටෙලිපෝනය ඇතුළතත් මෙම අර්බුද ඔඩු දුවා ඇති අතර පාර්ලිමේන්තුව රැස් කරන්නට පෙරාතුව අවශ්‍ය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නම් කිරීම නිසි පරිදි කරගන්නට බැරිව ගොස් තිබේ.



සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 5 ක් හිමිවීමෙන් පසු එය බෙදාගැනීම ගැන අර්බුද මතුවුණ අතර ප්‍රශ්නකාරී අසුන් 4 ක් පැත්තක තිබියදී නිශ්චිතව නම් කළ යුතු පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ගේ නම පමණක් කොමිසමට යවා තිබේ.
ඒ මහතාගේ නම මැතිවරණ කොමිසම අදම ගැසට් කර තිබේ. මැතිවරණයෙන් ලද අනුපාතය අනුව ජාතික ලැයිස්තුවෙන් තවත් මන්ත්‍රීවරු 4ක් සමගි ජන බල වේගය විසින් නම් කළ යුතුව තිබේ.

සමගි ජන බලවේගයට හිමි වී තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර පහ සඳහා අපේක්ෂකයන් පත් කිරීම සම්බන්ධයෙන් ද දැඩි ගැටලු සහගත තත්ත්වයක් උද්ගතව ඇත්තේ ගෑස් සිලින්ඩරයේ මෙන් කලින් දෙන්නට සිතාගෙන  සිටි අය වෙනුවට පැරදුණ අය ඇතුළට එන්නට දරන උත්සහය නිසාය.



එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පක්ෂයේ සභාපති ඉමිටියාස් බාකීර් මාකාර්, ඩලස් අලහප්පෙරුම, ඉරාන් වික්‍රමරත්න සහ මහාචාර්ය චරිත හේරත් එම මන්ත්‍රි ධුරවලට පත් කිරීමට තීරණය කර තිබුණ ද සමගි ජන සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන දෙමළ ප්‍රගතිශීලී සන්ධානය වෙනුවෙන් මන්ත්‍රි ධුරයක් වෙන් විය යුතු බවට එහි නායක මනෝ ගනේෂන් ඉල්ලා සිටීම මෙම ගැටලු සහගත තත්ත්වයට හේතු වී ඇත.

හවුල්කාර පක්ෂයකට අවස්ථාවක් ලබා දෙන්නේ නම් පක්ෂයේ ජාතික සංවිධායක වන තිස්ස අත්තනායකට ද අවස්ථාව හිමි විය යුතු බව පක්ෂයේ ඇතැම් පිරිස්වල මතය වී තිබේ.

එමෙන් ම පක්ෂයෙන් මහ ලේකම් සහ සභාපති යන තනතුරු දරන දෙදෙනාටම අවස්ථාව ලබා දීම අනවශ්‍යය යන්න තවත් පිරිසකගේ අදහස වී තිබෙන බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම අනිද්දා (21 වැනිදා ) පැවැත්වෙන හෙයින් ජාතික ලැයිස්තුවෙන් පත්වන අපේක්ෂකයන් සම්බන්ධයෙන් ඒ ඒ පක්ෂ මැතිවරණ කොමිෂන් සභාවට 20 වැනිදා දැනුම් දිය යුතුය. එසේ නොවුවහොත් එම අපේක්ෂකයන්ට එදින දිවුරුම් දීමට නොහැකි වනු ඇත.