sujeewa-senasinghe-flower-road

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගේ කොල්ලුපිටිය මල් පාර නිවස පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් සෝදිසියට ලක් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.






පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව ඉකුත් 2 වැනි දින පොලිස් පරීක්ෂකවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් එම නිවසට ගොස් ඇත.එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා නිවසේ සිට නැති අතර නිවස වසා දමා තිබී ඇතැයිද සේවකයෙකු පමණක් එහි සිට ඇතැයිද කියැවේ.




නිවස පිහිටි භූමියේ පැරණි වාහන තුනක් තිබී ඇති අතර පැය 2 කට ආසන්න කාලයක් අවට සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර සේවකයාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇතැයිද වැඩිදුරටත් දැනගන්නට ඇත.තමන් නිවසේ නොමැති අවස්ථාවේදී පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ යැයි පවසමින් කිසියම් පිරිසක් පැමිණ ඇති බවත් ඔවුන් සැබෑ ලෙසම පොලිස් නිලධාරීන් දැයි සොයා බලන ලෙස පවසමින් හිටපු මන්ත්‍රීවරයා කුරුඳුවත්ත පොලිසියට කරන ලද පැමිණිල්ලක් කොල්ලුපිටිය පොලිසියට යොමු කිරීමෙන් අනතුරුව කොල්ලුපිටිය පොලිසිය මගින් ඒ බව තහවුරු කරගෙන මන්ත්‍රීවරයා දැනුම්වත්කර ඇතැයිද වැඩිදුරටත් දැනගන්නට ඇත.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)