ලංකා කම්කරු කොන්ග්‍රසයේ වසර 37 ක කාලයක් ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු ලෙස කටයුතු කළ අරුලානන්දන් පිලිප් කුමාර් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත ආසන සංවිධායක ලෙස කටයුතු කළ ආරි. පුවනේෂ්වරම් යන මහත්වරු ලංකා කම්කරු කොන්ග්‍රසයේ දැරූ සියලුම තනතුරුවලින් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඊයේ (06) ඉල්ලා අස්වූහ.ඒ සම්බන්ධයෙන් වූ ලිපිය පක්ෂයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා වෙත යොමු කළ බව අරුලානන්දන් පිලිප් කුමාර් සහ ආර්. පුවනේෂ්වරම් යන මහත්වරු හැටන් නගරයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසූහ. එහි දී අරුලානන්දන් මහතා මෙසේ කීය.
ලංකා කම්කරු කොන්ග්‍රසයේ වත්මන් නායකත්වය තුළ දූෂණ අක්‍රමිකතා රැසක් තිබෙනවා. වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලන බව පවසමින් ලංකා කම්කරු කොන්ග්‍රසයේ වත්මන් නායකත්වය මුදල් ඉපයීමේ ව්‍යාපාරවල නිරතවනවා. ලංකා කම්කරු කොන්ග්‍රසයේ කොටගල පිහිටි පක්ෂ මූලස්ථානයේ වතුකරයේ තරුණ තරුණියන්ට වෘත්තිය පුහුණු ලබා දීමට අවශ්‍ය විශාල වටිනාකමකින් යුත් යන්ත්‍ර සූත්‍ර ගණනාවක් තිබුණා. පක්ෂ සමාජිකත්වය හෝ පක්ෂයේ විධායක සභාව දැනුවත් නොකර වත්මන් නායකයා විසින් එම යන්ත්‍ර සූත්‍ර සියල්ල මේ වන විට විකුණා දමා තිබෙනවා.
එසේම බගවන්තලාව කෙසෙල්ගමුඔය පිටාර ගැලීම නිසා ජනතාව පීඩාවට පත්වීම නිසා ව්‍යාපෘතියක් කෙසෙල්ගමුඔය පුළුල් කිරීමේ ගෙනවිත් එම ව්‍යාපෘතියට වෙන් කළ ප්‍රතිපාදන ජීවන් තොණ්ඩමන් මහතා සහ එම පක්ෂයේ භාණ්ඩාගාරික මරුද පාණ්ඩි රමේෂවරන් ඇතුළු ඔවුන්ට හිතවත් කිහිපදෙනකු ලබා ගත්තා.
ලංකා කම්කරු කොන්ග්රසය සතු වටිනා ඉඩම් කිහිපයක්ම මේ වනවිට ජීවන් තොණ්ඩමන් මහතාගේ පවුලේ අයගේ නම් වලට ලියාපදිංචි කරගෙන ඇති බවත්, නුවරඑළිය කඳපොළ ප්‍රදේශයේ රජය සතු විශාල ඉඩමක් වතු කම්කරුවන්ට ලබාදෙන බවට පවසා වෙන් කරවාගෙන එම ඉඩම ජීවන් තොණ්ඩමන් මහතා විසින් වෙනත් අයකුට මුදලට විකුණා ඇති බව ද අරුලානන්දන් පිලිප් කුමාර් මහතා පැවැසීය. ලංකා කම්කරු කොන්ග්රසය සිදු කරන දෙයම වතුකරය නියෝජනය කරන දමිළ ප්රගතිශීලි සන්ධානයේ නායකයන් සහ ආධාරකරුවන් සිදු කරන බවත්, මෙම වෘත්තිය සමිති දෙකම වතු කම්කරුවන් රවටා ඡන්දය ලබාගෙන ඔවුන් සැප විඳිමින් වසර පහකට පසු ඡන්දය පැවැත්වෙන සමයේ පමණක් වතු කම්කරුවන් ළඟට පැමිණෙන බව අරුලානන්දන් පිලිප් කුමාර් සහ ආර්. පුවනේෂ්වරම් යන මහත්වරු මෙම මාධ්‍ය හමුවේ දී කියා සිටියහ.
(රංජිත් රාජපක්ෂ)
0 Comments