කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ මාවඩ්පල්ලිය ප්‍රදේශයේ දී පෙරේදා (26) සවස ජල පහරට හසුවී පෙරළී ගිය ට්‍රැක්ටරයේ සිට අතුරුදන්වූ සිසුන් හයදෙනාගෙන් සිසුන් දෙදෙනකුගේ මළ සිරුරු ඊයේ (27) උදෑසන හමුවී ඇති බව කාර්තිව් පොලිසිය පවසයි.
සිසුන් හය දෙනාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා පොලිසියට පැමිණිලිකර ඇතත්, ට්‍රැක්ටරයේ රියැදුරා සහ සහායකයා සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් මේ වනතෙක් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර නොමැති බව, පොලිසිය කියයි. පිරිස සෙවීමේ මෙහෙයුම දිගටම ක්‍රියාත්මක බව කාර්තිව් වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා පවසයි. අනතුරට පත් ට්රැක්ටරය සහ ට්‍රේලරය ඊයේ (27) ගොඩට ගත් අතර, හමුවී ඇති සිසුන් දෙදෙනාගේ සිරුරු සම්මන්තූර රෝහලේ මෘතශරීරාගාරයේ තබා ඇත.
නාවික හමුදාව, පොලිසිය සහ යුද හමුදාව එක්ව නාවික හමුදා සහ පොලිසියේ බෝට්ටු යොදා ගනිමින් මෙම සිද්ධියෙන් ඊයේ 27 සවස් වනතුරු සොයා ගැනීමට නොහැකි වූ අනෙක් සිසුන් හතරදෙනාගේ සිරුරු සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි.සිද්ධියෙන් අතුරුදන් වී සිටින දරුවන්ගේ මවුපියන්, ඥාතීන් මාවඩිපල්ලිය ප්‍රදේශයට පැමිණ හඬාවැටෙමින් සිටිනු දක්නට ලැබිණි. කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් හත්දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් පෙරේදා (26) සවස කාර්තිව් සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවී ගසාගෙන යාම නිසා ට්‍රැක්ටරයේ ගමන්ගත් සිසුන් හයදෙනකු සමග ට්‍රැක්ටරයේ රියැදුරු සහ සහායකයකු අතුරුදහන්වී තිබිණි.
සමන්තුරේ අයි.එම්. නස්රිෆ්, එෆ්.එම්. නසීන්, එම්.ඒ.එම්. අෆ්මන්, එෆ්.එම්. සහරාන්, එම්. ජේ.එම්. සදීර්, ඒ.එම්. යසීන් යන පිරිස අතුරුදන් බව පොලිසිය කියයි.පාසල් නිවාඩු දුන් බැවින් මෙම සිසුන් ට්‍රැක්ටර් ට්‍රේලරයේ නැගී නිවෙස් වෙත ගමන්කරද්දී කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ මීටර් 500 ක් පමණ ගමන් කරන අවස්ථාවේ සවස 4.15ත් 5.00 ත් අතර කාලයේ දී, මාර්ගය හරහා ගලා බසිමින් තිබූ අඩි තුනහමාරක් හතරක් පමණ වන ජල පහරට හසුවී මාවඩිපල්ලි පාලම ආසන්නයේදී ට්රැක්ටරය ගසාගෙන ගොස් තිබූ බව පොලිසිය පවසයි.
අසල සිටි පිරිසක් ට්‍රැක්ටරයේ සිසුන් පස්දෙනකුගේ දිවි බේරාගෙන ඇතැයි පොලිසිය කියයි. ඒ අනුව මෙම ට්‍රැක්ටරයේ 11දෙනකු ගමන් කර ඇති බවට තොරතුරු හෙළිවී ඇත.මේ අතර, පසුගිය දිනවල ඇදහැලුණු මහ වැසි සමග හටගත් අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ (27) උදේ 7.00 වන විට අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 34,885 කට අයත් 1,23,876 දෙනකු පීඩාවට පත්ව සිටින බව අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.මෙම පිරිස අතරින් පවුල් 2082 කට අයත් 6710 පිරිසක් රජයේ තාවකාලික සුබසාධන කඳවුරු 52 ක පසුවන බවත්,
ඉතිරි පිරිසෙන් බහුතරයක් සිය ඥාතීන්ගේ සහ අසල්වැසියන්ගේ රැකවරණය යටතේ පසුවන බවත්, වාර්තාවී ඇත.
අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්කයේ නිවාස 70 කට අර්ධ වශයෙන් හානිවී ඇති අතර, නින්දවුර් අඩපල්ලම් ප්‍රදේශයේ පාලමක් කැඩීයාම හේතුවෙන්, අම්පාර - අක්කරපත්තුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය අත්හිටුවා තිබේ.කාර්තිව් හරහා කල්මුණේ සිට අම්පාර දක්වා දිවෙන මාර්ගයේ මල්වත්ත - සම්මන්තුර කොටසක් සහ කාර්තිව් - මාවඩිපල්ලි කොටසක් ජලයෙන් යටවීම නිසා මාර්ගය අවහිරවී ඇත. අම්පාර - මහඔය මාර්ගයේ මංගලගම ප්‍රදේශයේ පාලමකට හානිවීම නිසා ගමනාගමනයට බාධා ඇතිවී තිබේ. මේ වනවිට වැසි අඩුවීම නිසා ජලය මද වශයෙන් බැසයමින් පවතින නමුත්, නැවත වැසි වැඩිවීමක් සිදුවුවහොත් පහත්බිම් සහ වෙරළබඩ කලාපයේ ගම්මාන නැවත ජලයෙන් යටවීමේ අවදානමක් මතුවී තිබේ.
(වසන්ත චන්ද්‍රපාල)
0 Comments