ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ජනාධිපතිවරණයට පෙර ඝාතනය කිරීමට සැලසුම් කළා යැයි චෝදනා එල්ලවී සිටින 51 හැවිරිදි ඉරාන ජාතික ෆර්හාද් ශකේරි ශ්රී ලංකාවේ සිටින ඊශ්රායල ජාතිකයන් වෙඩි තබා සමූහ වශයෙන් ඝාතනය කිරීමේ ආරුගම්බේ සැලසුමට ද සහාය ලබා දී ඇතැයි ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පෙරේදා (09) ප්රකාශ කළේය.
මෙරට සිටින ඊශ්රායල ජාතිකයන් වෙඩි තබා සමූහ වශයෙන් ඝාතනය කිරීමේ අරුගම්බේ සැලසුමට ද සහාය ලබා දෙන ලෙස ඉරාන හමුදාව ෆර්හාද් ශකේරිට දැනුම් දී ඇති බවත් එම බුද්ධි තොරතුරු ලැබුණු වහාම ශ්රී ලංකාව සහ ඇමෙරිකාව මෙරට සිටින සංචාරකයන්ට අනතුරු ඇඟවීමට කටයුතු කළ බවත් එම දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ගොනු කළ වාර්තාවේ සඳහන් වේ.
ෆර්හාද් ශකේරිට සහ තවත් ඇමෙරිකානු ජාතිකයන් දෙදෙනකුට ට්රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව එරට අධිකරණය හමුවේ පසුගිය දා චෝදනා ගොනු කළේය.ෆර්හාද් ශකේරිට එරෙහිව ට්රම්ප් ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ චෝදනාව ද කාර්ලිස්ල් රිවේරා සහ ජොනතන් ලෝහෝල් යන ඇමෙරිකානුවන් දෙදෙනාට එරෙහිව ට්රම්ප් ඝාතන තැතට සහාය දැක් වූ බවට චෝදනාව ද ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව එරට අධිකරණය හමුවේ ගොනු කර ඇත.
එහෙත් තවමත් ෆර්හාද් ශකේරි අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවත් ඔහු ටෙහෙරානයේ සැඟව සිටින බවට විශ්වාස කරන බවත් එම වාර්තාවේ දැක්වේ.ඝාතන තැත සම්බන්ධයෙන් විමර්ශනය කළ නිලධාරීන් සමග ෆර්හාද් ශකේරි කීප වතාවක් දුරකතනයෙන් සම්බන්ධ වී ඇති බව ද එහි හඬ පට විමර්ශකයන් සතු බව ද අධිකරණ දෙපාර්තමේන්තුව ගොනු කළ වාර්තා වේ සඳහන් වේ.
එහිදී පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඉරාන හමුදාව තමන්ට පණිවුඩයක් එවූ බවත් සියලු වැඩ නවතා ජනාධිපතිවරණයට පෙර ට්රම්ප් ඝාතනය කිරීමට අවධානය යොමු කරන ලෙස එම පණිවුඩයේ සඳහන් වූ බවත්
ෆර්හාද් ශකේරි විමර්ශකයන්ට පවසා ඇතැයි ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ප්රකාශ කළේය.එම අවස්ථාවේ ඔහුට ට්රම්ප් ඝාතනය කිරීමට සැලසුමක් නිර්මාණය කිරීමට ඉරාන හමුදාව දින හතක කාලයක් ලබා ඇතැයි ද අධිකරණ දෙපාර්තමේන්තුව පැවැසුවේය.
එම කාලය තුළදී සැලසුමක් නිර්මාණය කිරීමට අසමත් වුවහොත් ජනධිපතිවරණය ඉවර වනතෙක් බලා සිටීමට ඉරාන හමුදාව සූදානම්ව සිටි බවත් ට්රම්ප් ජයග්රහණය කරනු ඇතැයි ඉරාන හමුදාව බලාපොරොත්තු නොවූ බවත් ශකේරි විමර්ශකයන්ට පවසා ඇතැයි ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ප්රකාශ කළේය.
ඝාතන තැතට සහාය දුන්නේ යැයි කියන ඇමෙරිකානුවන් දෙදෙනා ශකෙරීගෙන් ඝාතන තැතට සහාය දීමට ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති බව ද අනාවරණය වී ඇතැයි ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ගොනු කළ වාර්තාවල සටහන් වේ. මෙහෙයුම ආරම්භ වීමටත් පෙර එම මුදල ඇමෙරිකානුවන් දෙදෙනා ශකේරිගෙන් ඉල්ලා ඇති බව ද එහි දැක්වේ.කෙසේ නමුත් ඉරානය ඇමෙරිකානු වාර්තාව අධිකරණ දෙපාර්තමේන්තු ප්රතික්ෂේප කර තිබිණි. ෆර්හාද් ශකේරි ඇෆ්ගනිස්ථානයේ උපත ලැබූවකු අතර ඔහු චෝදනා කීපයකට ඇමෙරිකාවේ සිර දඬුවම් ද විඳ ඇත.
(විමුක්ති එස්. රුද්රිගු)
0 Comments