tylwin-silva-speaks

ජනාධිපතිවරණයේදී ගැසු කතිරය බහු කාර්ය එකක් බවත්, මේ රටේ පාලනයේ බහිරවයන් බවට පත්වී සිටි නායකයන් මැතිවරණයෙන් පසු අතුරුදන්ව ඇති බවත්, රට විනාශ කළ අය වෙනුවට රට දිනවන නායකයෙකු රටේ ජනාධිපති බවට පත්ව ඇති බවත් ටිල්වින් සිල්වා මහතා පැවසීය .ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ අදහස් පළකර සිටියේ ජාතික ජන බලවේගය යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරගවැදී සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පොළොන්නරුව දියබෙදුම පොළ භූමියේදී පෙරේදා හවස පැවති රැස්වීමකට සහභාගි වෙමිනි.



මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා මෙසේද පවසා සිටියේය.


“අපේ ආණ්ඩුව භාර අරගෙන මාසයක් ගියාට පස්සෙ එදා ඒ ආණ්ඩු පක්ෂයේ හිටපු විපක්ෂයේ උදවිය චන්දෙට කියූ දේවල් බොරු බවට පත්වෙලා තියෙනවා. අපි බලයට ආවම ජාත්‍යන්තර සම්බන්ධතා නැතිවෙයි කීවා. නමුත් එහෙම වුණේ නෑ. ඒ වෙනුවට දිනෙන් දින ජාත්‍යන්තර සම්බන්ධතා ශක්තිමත් වෙලා තියෙනවා.


අපිට තානාපති කාර්යාලවලින් දිගින් දිගටම සම්බන්ධතා පවත්වන්න කැමැත්ත ප්‍රකාශකර තිබෙනවා .ඒ විතරක් නෙමෙයි ජාත්‍යන්තරයෙන් මුදල් හම්බවෙන්නෙ නෑ කිවුවා . මේ වන විට රටේ සංවර්ධන කටයුතු සඳහා ඩොලර් මිලියන සීයක් ලබා දීලා තියෙනවා.




ඒ අතර අපි සල්ලි අච්චු ගහනවා කියල කියනවා. පට්ට පල් බොරු. අපි සල්ලි අච්චු ගහන්නෙ නෑ.එහෙම සල්ලි අච්චු ගහනව නම් ඔයාලගෙ මුදල් නෝට්ටුවල ඇමතිවරයා විදිහට අනුර කුමාර දිසානායකගේ අත්සන තියෙන්න ඕන .එහෙම මුදල් ඔබේ අතට ආවද. මේ ඔක්කොම බොරු කතා.


ඒ අතර දැන් කියනවා අපි ඇවිල්ල පොල් පෝලිම් ඇති කරල කියල.ලෝකයේ කොහෙවත් තියෙනවද පොල් පැළේ හිටවල මාසෙකින් පොල් ගෙඩි කඩනරටක් .අනුර කුමාර දිසානායක ඇවිල්ලා මාසෙන් ගෙඩි හැදෙනව නම් ඒක කිවුවට කමක් නෑ.ඒ නිසා මේ රටේ පොල් පෝලිම් ඇතිවෙන්න හේතුවට වගකියන්න ඕනෑ

රනිල් වික්‍රමසිංහ,මහින්ද රාජපක්ෂ. ඒ අය කරපු වැරදි වැඩ නිසයි පොල් හිඟය ඇතිවෙලා තිබෙන්නේ .ඒ අය පොල් ඉඩම් කට්ටි කඩපු නිසයි. පොල් වලට පොහොර නොදුන්න නිසයි.ඒ නිසා පරාජිත මේ රට විනාශ කරපු දූෂිත දේශපාලකයන් නැවත මේ අලුත් පාර්ලිමේන්තුවට යැවීම සඳහා ඔබලා කටයුතු කරන්න එපා. මේ රට ගොඩ නැගිය හැකි දක්ෂ, උගත්, දූෂණයෙන් තොර මාලිමාවේ බහුතර පිරිසක් පාර්ලිමේන්තුවට යැවීම සඳහා මේ මහ මැතිවරණයේදී කටයුතු කරන්න. හොඳ සිය දෙනෙක් පාර්ලිමේන්තුවට ගිහිල්ලත් වැඩක් නෑ.එක් හොරෙක් පාර්ලිමේන්තුවට ගියොත් ඔක්කොම ඉවරයි.”
(සරත් නිශ්ශංක)