veyangoda-nidhan-mining

පසුගිය දින කිහිපයේම ප්‍රධාන පුවත් සිරස්තල අතරට ගිය වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන් සිදුකරනු ලැබූ නිධන් කැණීමේ කටයුතු ඊයේ (23) පස්වරුවේ නවතා දැමුවේ නිශ්ඵල කටයුත්තකට කාලය ගත කිරීම නොවැදගත් බව කියමිනි. කඩවත – කුරුණෑගල අධිවේගී මාර්ගයේ වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ අධිවේගී මාර්ගයේ පාදමටද හානිකරමින් කාලයක් තිස්සේ අනවසර කැණීම් සිදු කර තිබූ අතර රජය මැදිහත්ව පුළුල් ලෙස කළ කැනීමේදී


එම ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි රැසක් විදුම් යන්ත්‍රයක ආධාරයෙන් කුඩා කොටස් බවට පත් කරනු ලැබූවද එතුළ තිබී කිසිවක් හමුවී නැත.
ඊයේ පස්වරුවේ එම ස්ථානයෙන් පාෂාණ කැබලි පිටතට ගෙන අවසන් වීමෙන් පසු කැණීම් කළ ස්ථානය විශේෂ කාර්‍ය බලකාය විසින් පරිලෝකන පරීක්ෂාවකටද ලක්කළ අතර කිසිවක් හමු නොවිණි.



එම ස්ථානයේ නිධානයක් සොයා පසුගිය කාලයේ සිට විවිධ පුද්ගලයින් නීතිවිරෝධීව කැණීම් කටයුතු සිදු කර තිබූ අතර, එහිදී අත්අඩංගුවට ගත් බොහෝ පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බව සඳහන්ය.

මෙම තත්ත්වය තුළ අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් නියෝග පරිදි  පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ ස්කෑන් පරීක්ෂණවලදී පොළොව අභ්‍යන්තරයේ යම් දෙයක් ඇති බවට නිරීක්ෂණය විය.
ඒ පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අත්නගල්ල මහේස්ත්‍රාත් අධිකරණය, වේයන්ගොඩ පොලීසියට නියෝග කර තිබුණේ මහජනතාව ඉදිරියේ එම ස්ථානයේ කැණීම් සිදු කරන ලෙසය.
අවස්ථා 10කදී පමණ විවිධ පිරිස් මෙම ස්ථානයේ නිදන් හැරීම හේතු කොට ගෙන ඉදි කෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට සිදුවන හානි වළක්වා ගැනීම සඳහා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත මහජනතාව ඉදිරියේ මෙරට පළමුවරට රාජ්‍ය අංශයේ මැදිහත්වීම මත මෙලෙස නිධන් කැණීම සිදුකරනු ලැබිණි.

නිධන් වදුලු නිසා නිධන් සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජය තුළ බිහිවී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නිධන් වදුල ඇතුළු 18 වන සියවසෙන් පසුව රචනා වූ පුස්කොළ ලේඛන පාදක කර ගනිමින් නිධන් සම්බන්ධයෙන් වැරැදි මතයක් සමාජය තුළ නිර්මාණය වී ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් පවසයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ දක්වා දිවයින පුරා කරන ලද කැණීම්වලදී නිධන් වදුලුවල සඳහන් පරිදි මහා අනර්ඝ සම්පත් හෝ මූල්‍ය වටිනාකම් සහිත සම්පත් හමුවී නොමැති බව ද ඔහු පැවැසුවේය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කරන ලද්දේ මධ්‍යම අධිවේගී මාර්ගයට යාබදව වේයන්ගොඩ ප්‍රදේශයේ සිදුකරන නිධන් කැණීම සම්බන්ධයෙන් දැනුවත් කිරිම සඳහා පෙරේදා (23 වැනිදා) මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදීය.


පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ,භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය, රජයේ රස පරීක්ෂක කාර්යාලය ,මාර්ග සංවර්ධන අධිකාරිය ,පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම කැණීම් හා ගල් කඩා පරීක්ෂා කිරීම සිදු විය .

අදාළ ආයතනයන්හි නිලධාරීන්ගෙන් ලබා ගන්නා අවසන් වාර්තාව ලබන අඟහරුවාදා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.