wajira-ranil
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දීමෙන් පසුව බවට කෙරෙන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.



රවී කරුණායක මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා පත්කිරීම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග ඇති කරගෙන තිබෙන එකගතාවට පටහැනි බවද එම නිවේදනයේ සඳහන් වේ. වජිර අබේවර්ධන මහතා නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික රවී ලැයිස්තු මන්ත්‍රීධූරයක් සඳහා කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ VIII වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද දැනුම් දීමෙන් පසුව බවට කෙරෙන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍යය.


ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යවන බවට කිසිදු පූර්ව දැනුම්දීමක් රනිල් වික්‍රමසිංහ මහතාට කර නොතිබිණි. එසේම මහ මැතිවරණයෙන් ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරවලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට දීමට එකගතාවයට පැමිණ තිබූ බවට කෙරෙන ප්‍රකාශ ද පදනම් විරහිතය.




මහ මැතිවරණයෙන් පසුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා හිටපු විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් නොවැම්බර් 16 වැනිදා පැවැත්විණි.ඉහත සාකච්ඡාවේ දී තීරණය කෙරුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර පිරවීම සම්බන්ධයෙන් අවසන් තීරණය එළැඹෙන අගහරුවාදා (19) දින පැවැත්වෙන සාකච්ඡාවේ දී ගත හැකි වන බවටය. ඒ සාකච්ඡාව සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අතර ඇතිකරගෙන තිබෙන අංගසම්පූර්ණ ගිවිසුම ද ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙනු ලැබිණි.


මේ අතරවාරයේ දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ශ්‍යාම්ලා පෙරේරා මහත්මිය නොවැම්බර් 18 වැනිදා VIII වැනි විධායක ජනාධිපති මුණ ගැසුණ අවස්ථාවේ දී රවි කරුණානායක මහතා පත් කිරීමේ අවශ්‍යතාව ප්‍රකාශ කරනු ලැබුවාය. එක්සත් ජාතික පාක්ෂිකයකු වන රවී කරුණානායක මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පත්කිරීමට නොහැකි බව ඒ අවස්ථාවේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. හිටපු ජනාධිපතිවරයාගේ ස්ථාවරයට පැමිණෙමින් රවී කරුණානායක මහතා ජාතික ලැයිස්තුවෙන් පත් නොකිරීමට ඒ අවස්ථාවේ දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරිය එකගත්වය පළ කළ බවද සිහිපත් කළ යුතුය.


එහෙත් අගහරුවාදා දින පක්ෂ නායකයන් රැස්වීමට ප්‍රථම රවී (18 වැනිදා) කරුණානායක මහතාගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා මැතිවරණ කොමිසම

වෙත ඉදිරිපත් කිරිමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය පියවර ගෙන තිබිණි.


මේ පසුබිම යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක් උද්ගත විණි. අගහරුවාදා පැවැති රැස්වීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම අංගසම්පූර්ණව ඉදිරිපත් නොකෙරුණු අතර එහි පිටු කිහිපයක් අඩු බව පැහැදිලිවම නිරීක්ෂණය විය.


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග ඇතිකරගෙන ඇති එකගතාව අනුව 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා නම් කිරීමට එම පෙරමුණට කිසිදු අවස්ථාවක් උදාවී නොතිබිණි. මේ තරුණ හමුවේ දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය ක්‍රියාකර ඇත්තේ එකගතාවට සම්පූර්ණයෙන්ම පටහැනිවය. එය විශාල වරදකි. අත්තනෝමතික ක්‍රියාවක්ද වන්නේය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරිය ක්‍රියාකර ඇත්තේ අවබෝධතා ගිවිසුමට පරිබාහිරව සහ ඊට හානි වන ආකාරයටය.




නොවැම්බර් 18 වැනිදා ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සම්පූර්ණ කිරීමට කිසිදු පූර්ව එකගතාවක් ඇති කරගෙන නොතිබිණි. ඒ සම්බන්ධයෙන් තීරණය ගත යුතුව තිබුණේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ නායකයන්ගේ හමුව කැඳවා තිබූ ඊට පසු දිනය. එනම් නොවැම්බර් 19 වැනිදාය. ඒ පක්ෂ නායකයන්ගේ රැස්වීමට පෙර තම නම මැතිවරණ කොමිසම වෙත යැවීමට රවී කරුණානායක මහතා උපදෙස් දී තිබිණි.


රවී කරුණානායක මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් සඳහා පත් කිරීම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග තිබෙන ඇතිකරගෙන එකගතාවට සම්පූර්ණයේනම පටහැනිය. ගිවිසුම සහමුලින්ම උල්ලංඝනය කිරීමකි. ඊට අදාළව ගන්නා පියවර එක්සත් ජාතික පාක්ෂිකයකු වන රවී කරුණානායක මහතාට විරුද්ධව ද ක්‍රියාත්මක වේ. මේ වන විටත් පත් කරගෙන තිබෙන සිවු පුද්ගල කමිටුවේ වාර්තාව ලැබුණු පසුව එහි නිර්දේශ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් සඳහන් කරමි.