හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන් 116 දෙනෙකු ඉවත් කර තිබෙන අතර ඔවුන් සිය රාජකාරී අවසන් කර පිටවයාමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සුහද කතාබහක නිරත වී සමූහ ඡායාරූපයකට ද පෙනී සිට තිබේ.
මානව සම්පත් කළමනාකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ලිපියක් මගින් මේ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක කොට්ඨාසය වෙත දැනුවත් කර ආරක්ෂක නිලධාරීන් 116 දෙනෙකු හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක කොට්ඨාසයෙන් ඉවත් කිරීමට පියවර ගත්තේය.
මහින්දගේ පමණක් නොව අනෙකුත් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂක නිලධාරීන්ගේ සංඛ්‍යාව 60කට අඩු කරන්නට
පොලිස්පතිවරයා පියවර ගෙන ඇත්තේ හිටපු ජනාධිපති වරුන්ගේ ආරක්ෂක තත්ත්ව වාර්තා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවය.
පොලිස් කොට්ඨාස 38කට මාරුකර යවා ඇති මහින්දගේ 116 පිරිසට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු හත් දෙනෙක් සහ පොලිස් පරීක්ෂකවරු සිව් දෙනෙක්ද ඇතුළත් වෙති.
මෙම පිරිස විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය අංක 5 යටතේ මෙතෙක් අනුයුක්ත කරනු ලැබ සිටියහ.
විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය අංක 5 යනු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබූ ආරක්ෂාවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව සැපයූ ආරක්ෂක රථ තුනක්ද මෙයට පෙර ඉවත් කෙරිණ.
ලොව පැවැති ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂක නිලධාරීන් 116 ක් ඉවත්කර ඔහුගේ ආරක්ෂාව බිඳවට්ටවා ඇති බවත් එතුමාගේ ජීවිතයට යම් අවදානමක් ඇති වුවහොත් වර්තමාන රජයේ වගකිවයුතු බවත් නිතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා අද (13)
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය.
0 Comments