නිසියාකාරව මානසික වර්ධනයක් නොවූ 14 හැවිරිදි බාලවයස්කාර දැරියක් නීති විරෝධී ලෙස රඳවාගෙන ගණිකා වෘත්තීයේ යෙදවීම ඇතුළු චෝදනාවලට වරදකරු කෙරුණු 37 ත් හැවිරිදි එක් දරු පියකුට බරපතළ වැඩ සහිත වසර 30 ක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ එම සිර දඬුවම වසර 10 කින් ගෙවී යා යුතු බවත් නියෝග කළේය.
ඊට අමතරව විත්තිකරුට රුපියල් 45000/- ක දඩයක් නියම කළ අතර අතවරයට පත් දැරියට රුපියල් හාර ලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන ලෙසත් විනිසුරුවරයා විසින් විත්තිකරුට නියෝග කරන ලදී.
තීන්දුව ප්රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ තම මවට, සහෝදරියට සහ බිරිඳට ගරු කරන්නා සේම සමාජයේ සිටින නුවණින් මුහුකුරා නොගිය මෙවැනි දරුවන්ට ද ගරු කිරීමට සෑම පුද්ගලයකුම වග බලා ගත යුතු බවයි. එවැනි දරුවන්ට අනීතික ආකාරයෙන් කටයුතු කරන මෙවැනි පුද්ගලයන්ට අධිකරණයෙන් කිසිසේත්ම සමාවක් හිමි නොවන බවත් විනිසුරුවරයා විත්තිකරුට දඬුවම් නියම කරමින් සඳහන් කළේය.
දඬුවම් නියම කිරීමට පෙර යමක් කීමට තිබේදැයි විනිසුරුවරයා අතවරයට පත් තැනැත්තියගෙන් විමසා සිටියේය. විත්තිකරුට දඬුවම් ලබාදී තමන්ට යුක්තිය ඉටුකරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අනාගතයේදී මෙවැනි වැරැදි සිදු කිරීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට ද පාඩමක් වන ආකාරයෙන් මෙම විත්තිකරුට දැඩි දඬුවම් නියම කරන ලෙස ඉල්ලා සිටියාය. මෙම තැනැත්තිය විත්තිකරු සමග පැමිණියේ සිය කැමැත්තෙන් බව පෙන්වා දුන් විත්තියේ නීතිඥවරයා විත්තිකරුට ලිහිල් දඬුවම් නියම කරන ලෙස ඉල්ලා සිටියේය.
එහෙත් නඩු විභාගයේදී එවැනි කිසිදු සාක්ෂියක් අනාවරණය නොවූ බව සඳහන් කළ විනිසුරුවරයා අනතුරුව මෙම දඬුවම් නියම කළේය.
මෙම සිද්ධිය වූ අවස්ථාවේ අතවරයට පත් තැනැත්තිය 14 වන වියේ පසුවූ අතර ඇය දේවාලයක වාර්ෂික පෙරහර නැරඹීම සඳහා පැමිණ ඇති අතර එම අවස්ථාවේදී විත්තිකරු ඇය සමග සුහද වී මරදාන ප්රදේශයේ ලැගුම් හලකට රැගෙන විත් බලහත්කාරයෙන් රඳවා තබා මුදලට ඇයව ගණිකා වෘත්තියේ යෙදවා තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බව අධිකරණය හමුවේ සඳහන් විය.
(කේ.එස්.උදයකුමාර)
0 Comments