CEB-proposes-not-to-increase-electricity-bills-until-June-2025

පවතින විදුලි ගාස්තු 2025 ජූනි මාසය දක්වා සංශෝධනය නොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා නිවේදනය කළේය.





ලංවිම විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කර ඇති යෝජනාවට අනුව, මෙම කාල සීමාව තුළ රුපියල් මිලියන 2,330ක ලාභයක් අපේක්ෂා කරන අතර, එම ලාභය මත පදනම්ව ඉදිරි මිල සංශෝධන සිදු කිරීමට හැකි වනු ඇත.

මෙම යෝජනාව පිළිබඳව සවිස්තරාත්මක අධ්‍යයනයකින් පසු මහජන උපයෝගීතා කොමිසමේ අවසන් තීරණය ලබන ජනවාරි 17 වන දින ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

පෙර රජය සමයේ වාර්ෂිකව සිව් වතාවක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට යෝජනා වී තිබූ අතර, 2023 වසරේදී තෙවරක් සහ මෙම වසරේදී දෙවරක් විදුලි ගාස්තු සංශෝධනය කර තිබිණි.

දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ලංවිම විසින් පසුගිය ඔක්තෝබර් මාසයේදී ඉදිරිපත් කර තිබුණි.

එම යෝජනාව දෝෂ සහගත බව පෙන්වා දෙමින් මහජන උපයෝගීතා කොමිසම විසින් නැවත සකස් කර ඉදිරිපත් කරන ලෙස දන්වා තිබූ අතර, ඊට අනුව නව යෝජනාව දෙසැම්බර් 6 වන දින ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත්, විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ සභාපති සංජීව ධම්මික මහතා  අදහස් දක්වමින් පැවසුවේ දිගින් දිගටම විදුලි ගාස්තු සංශෝධනය පමා කිරීම මගින් පාරිභෝගිකයන්ට අසාධාරණයක් සිදුවන බවයි.

මේ තත්ත්වය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම පැහැදිලි විසඳුමක් ලබා දිය යුතු බවත්, එසේ නොවුණහොත් රජය මැදිහත් විය යුතු බවත් ඔහු අවධාරණය කළේය. කිසිදු විසඳුමක් නොලැබේ නම් විදුලි පාරිභෝගිකයන් සිය අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනු ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.