පෙම්වතියට අයත් යතුරුපැදියෙන් ගොස් රන්මාල කොල්ලකෑමේ යෙදුණු ක්‍රිකට් ක්‍රීඩකයකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කොල්ලකෑ රන්මාලයක් උකස් කර ලබාගත් රුපියල් 71000 ක මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇත. කොහුවල ගම්සභා පාර අසල සැකකටයුතු ලෙස රැඳී සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් ඔහු සන්තකයේ මුදල් තිබීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී කොල්ලකෑම් කීපයක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
බොරලැස්ගමුව පොලිස් වසමේ වජිර ඥාන මාවත ඇතුළු ප්‍රදේශ දෙකකදී සහ කොට්ටාව පොලිස් වසමේදී රන්මාල කොල්ලකෑම් තුනකට සැකකරු සෘජුවම සම්බන්ධ බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.සැකකරු කොල්ලකෑ රන් ආභරණ උකස් කිරීමෙන් අනතුරුව එම උකස් පත්‍රිකාව විනාශ කර දැමීමට කටයුතු කර තිබූ බවත් පොලිසිය කියයි. සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව එලෙස කොල්ල කෑ භාණ්ඩ උකස් කළ ස්ථාන හඳුනාගෙන එම රන් ආභරණ ලබා ගැනීම සඳහා අධිකරණ නියෝග ලබා ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මහමග ගමන් ගන්නා වයෝවෘද්ධ කාන්තාවන් ඉලක්ක කර යතුරුපැදියේ ගමන් ගන්නා අතරවාරයේදී එහි සිටම කාන්තාවන්ගේ ගෙල බැඳී රන්මාල කොල්ලකෑමට සැකකරුට සහජ දක්ෂතාවක් තිබෙන බවට ඉකුත් මස 20වැනි දින බොරලැස්ගමුව වජිරඥාන මාවතේ දී කාන්තාවගේ ගෙල බැඳි රන්මාලය කොල්ල කන ආකාරයෙන් පැහැදිලි වන බවත් එය සීසීටීවී කැමරාවක මනාව සටහන්ව ඇතැයි ද උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
සැකකරු පදවාගෙන පැමිණි ස්කූටර් වර්ගයේ යතුරුපැදියට අදාළ ලිපි ලේඛන පරීක්ෂා කිරීමේදී එය හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ තරුණියකට අයත් එකක් අනාවරණය වූ බව ඒ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම තරුණිය සැකකරුගේ පෙම්වතිය බවට අනාවරණය වූ බවත් පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වන අතර විවිධ ක්‍රිකට් සමාජ අතර ඉකුත් කාලය පුරා පැවති ක්‍රිකට් තරගවලටද සහභාගී වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
0 Comments