නුවරඑළිය ලංගම බස් ඩිපෝවේ ආරක්ෂකයා ඝාතනය කර මුදල් කොල්ලකෑම ඩිපෝවේ මුදල් අයකැමිවරයාගේ සැලසුමකට අනුව සිදුව ඇති බව හෙළිකරගත් නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මුදල් අයකැමිවරයාත්, ඝාතකයාත්, ඝාතකයාව මුදල් අයකැමිවරයාට සම්බන්ධ කර දුන් බස් රථ රියැදුරුට එකතුවන මුදල් සම්බන්ධයෙන් ඇතිවූ අඩුවක් වසා ගැනීම සඳහා මුදල් අයකැමිවරයා විසින් ඩිපෝවේ කබඩ්එකක තිබුණු මුදල් පුද්ගලයකු යොදා සොරා ගැනීමට සැලසුම්කර ඇති බවත්, මුදල් සොරකම් කිරීමට කාර්යාලයේ ඇති කබඩ්ටුව කඩන විට එම හඬ ඇසී ආරක්ෂකයා ඒ ගැන විපරම් කිරීමේදී ගෙල කපා ඔහු ඝාතනය කර ඇති බවත් විමර්ශනයේදී හෙළිවී තිබේ.
නුවරඑළිය ලංගම ඩිපෝවේ දෛනිකව රැස්වන මුදල් සම්බන්ධයෙන් ඇතිවූ අඩුවක් වසා ගැනීම සඳහා මුදල් අයකැමිවරයා විසින් කළ සැලසුමකට අනුව බස් ඩිපෝවේ ආරක්ෂකයා ඝාතනය කර කාර්යාලයේ කබඩ්එකක තිබුණු මුදල් කොල්ලකා ඇති බව පොලීසිය කියයි.
මෙම ඝාතනය පසුගිය 06 වෙනිදා අලුයම් කාලයේදී සිදුව ඇති අතර ඝාතනය වී ඇත්තේ නුවරඑළිය ගැල්වේ ගම්මානයේ පදිංචිව සිටි ඒ. යෝගනාදන් නමැති 85 හැවිරිදි ආරක්ෂක නිලධාරියා බව පොලීසිය සඳහන් කරයි.
ආරක්ෂක නිලධාරියා ඝාතනය කර සිදුකළ මෙම මුදල් කොල්ලය පොලීසියට වාර්තා වී පැය 24ක් තුළ සැකකරුවන් අල්ලා ගැනීමට පොලීසිය සමත් වී තිබේ.
ආරක්ෂක නිලධාරියා ඝාතනය කර සිදු කළ මෙම මුදල් කොල්ලය ගැන නුවරඑළිය පොලීසියට ඩිපෝ බලධාරීන් කළ පැමිණිල්ලට අනුව කොල්ලකා තිබුණු මුදල් ප්‍රමාණය රුපියල් 1,052,167ක මුදලකි. මෙම මුදල් කොල්ලය සිදුවන විට මුදල් අයකැමිවරයා ද සිට ඇත්තේ ඩිපෝ පරිශ්‍රය තුළ නිදාගෙන බව පොලීසිය කියයි. කාර්යාලයේ කබඩ් එක තිබුණු මෙම මුදල කොල්ලකා ඇති බව ඩිපෝ බලධාරීන්ට පවසා ඇත්තේද මෙම මුදල් අයකැමිවරයාය.
විමර්ශනයේදී හෙළිවී ඇත්තේ රුපියල් 1,052,167 මුදලක් කොල්ලකා ඇති බව මුදල් අයකැමිවරයා පැවසුවත් කොල්ලකා ඇත්තේ රුපියල් 6,66,500ක මුදලක් බවය. තිබී ඇත්තේද එම මුදල පමණක් බවත් ඉතිරි මුදල් ප්‍රමාණය මුදල් අයකැමිවරයා අතින් එහා මෙහා වී ඇති බවත් විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
මෙම කොල්ලය මුදල් අයකැමිවරයා විසින් සැලසුම්කර ඇත්තේ මුදල් අඩුපාඩුව වසා ගැනීම වෙනුවෙන් බව විමර්ශනයේදී පෙනී ගිය බව පොලීසිය සඳහන් කළේය.
මේ සඳහා දින ගණනාවක් තිස්සේ කළ සැලසුමකට අනුව ඔහුට මේ සඳහා පුද්ගලයකු සම්බන්ධකර දී ඇත්තේ නුවරඑළිය ඩිපෝවේම සේවයේ නිරත 41 හැවිරිදි වියේ පසුවන බස් රථ රියැදුරෙකි. ඔහු කැප්පැටිපොල රේන්දපොල පදිංචිකරුවකු බව පොලීසිය සඳහන් කළේය.
ඩිපෝවේ මුදල් කොල්ලය සඳහා ඔහු විසින් මුදල් අයකැමිවරයාට සම්බන්ධකර දී ඇත්තේ මහව පදිංචි පුද්ගලයකි. ඔහු 34 හැවිරිදි වියේ පසුවන බවත් විවාහ වී සිටින්නේ පට්ටිපොලින් බවත් පොලීසිය කියයි. මාර්ග සංවර්ධන අධිකාරියේ තාවකාලික පදනමින් සේවයේ නිරත කම්කරුවෙකි.
මෙම පුද්ගලයාව පසුගිය 05 වෙනිදා රාත්‍රී 9.00ට පමණ බස් ඩිපෝව තුළට කිසිවකුටත් හොරා ගෙන්වාගත් මුදල් අයකැමිවරයා ඔහුව ඇතුලේ යම් ස්ථානයක සැඟවීමට ඉඩ සලසා දී ඇතැයි පොලීසිය කියයි.
මෙම මුදල් අයකැමිවරයා බදුල්ලේ පදිංචිකරුවෙකි. ඔහු රාත්‍රී කාලයට රැඳී සිටින්නේ ඩිපෝවේය.
ඔහු සමඟ රාත්‍රී ඩිපෝ පාලකද රැඳෙන බවත් පොලිසිය කියයි. මෙදින මුදල් අයකැමිවරයා සැලසුම් සහගතව රාත්‍රී ඩිපෝ පාලක ඇතුළු කිහිප දෙනෙකුට මත්පැන් සාදයක් පවත්වා ඇති බව ද විමර්ශනවලින් හෙළිවී තිබේ.
මෙම ඩිපෝවේ සේවයේ නිරත බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් 20ක් පමණ දෛනිකව රාත්‍රී කාලයට මෙහි ගතකරන බවත් රියැදුරු සහ කොන්දොස්තරවරුන් නවාතැන් ගන්නේ වෙනම ස්ථානයක බවත් පොලීසිය සඳහන් කළේය.
ඩිපෝ ආරක්ෂක නිලධාරියා වයස්ගත වුවත් කඩිසර පුද්ගලයකු බවත්, රාත්‍රී කාලයට ඔහු නොනිදා ඩිපෝව වටේ ඇවිදිමින් ආරක්ෂාව සලසන බවත් පොලීසිය කියයි. ඔහුටත් මත්පැන් ලබාදීමට මුදල් අයකැමිවරයා උත්සාහ දරා ඇති බවද පැවැසේ.
මෙදින මධ්‍යම රාත්‍රිය පසුවන විට ඩිපෝවේ සිටි හැමෝම පාහේ නිදාගෙන සිට ඇති බවත් මුදල් අයකැමිවරයා ඒ බව පරීක්ෂා කිරීමෙන් පසු මුදල් කොල්ලයට සූදානම්කරගෙන සිටි පුද්ගලයා සඟවා තැබූ තැනින් පිටතට ගෙන මුදල් ඇති කාර්යාලයට යවා ඇති බවත් පොලීසිය කියයි. කාර්යාලයට ඇතුළු වූ ඔහු මුදල් තැන්පත්කර තිබුණු කබඩ්එක කඩන හඬ ඇසී මුරකරු ඒ ගැන විමසිලිමත් වීමේදී මුරකරු සමඟ පොර බදා ඇති බවත් මුරකරු ගැට ගැසීමට උත්සාහ දරා ඇති බවත් පොලීසිය කියයි. එහිදී මුරකරු ද දඟලන්නට වූ බැවින් ඔහුගේ ගෙල කපා ඇති බව පොලීසිය කියයි. මේ හැම දෙයක්ම මුදල් අයකැමිවරයා බලා සිට ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
මෙසේ මුරකරු ඝාතනය කර මුදල් කොල්ලකෑ මුදලින් මුදල් අයකැමිවරයාට ඒ අවස්ථාවේදීම රුපියල් දෙලක්ෂ තිස්හත්දහසක මුදලක් ලැබී ඇති බවත් ඉතිරි මුදල් රැගෙන ඝාතකයා පලාගොස් ඇති බවත් පොලීසිය කියයි. පොලීසිය විමර්ශන පවත්වා ඝාතකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මහව දී බවත් එම අවස්ථාවේදී ඔහු සතුව තිබී කොල්ලකෑ මුදලින් රුපියල් හාරලක්ෂ හතළිස්පන්දහස් පන්සියයක මුදලක්ද සොයාගත් බවත් පොලීසිය කියයි. එම මුදලින් කොටසක් රියැදුරුට ලබාදීමට ඔහු සූදානමින් සිටි බවද අනාවරණය වී තිබේ. මෙම මුදල් සොයාගෙන ඇත්තේ මහව කිරඹ පිහිටි ඔහුගේ ගෙවත්තේ වළදමා තිබියදීය. ඔහු අවසන් වරට හැඳ සිටි ඇඳුමත් අත්වැසුම් යුවළත් මෙහිදී පොලීසිය සොයාගෙන ඇත.
අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙනා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ, බදුල්ල ප්‍රදේශයේ පදිංචි නුවරඑළිය ලංගම ඩිපෝවේ මුදල් අයකැමි වශයෙන් සේවය කරන රාජපක්ෂ මුදියන්සේලාගේ පියදාස (55), එම ඩිපෝවේ රියැදුරකු වශයෙන් සේවය කරන ප්‍රගීත් සංජීව වීරසිරි (40) සහ සැකකාර රියදුරාගේ මිතුරකු වන ඉටිහාමිමුදියන්සේලාගේ සම්පත් ජානක බණ්ඩාර (36) නමැත්තන්ය.
(ගයාන් කුමාර වීරසිංහ/හැටන් - රංජිත් රාජපක්ෂ)
0 Comments