මෑතක දී පත් කරන ලද කථානායක අසෝක රන්වල මහතා අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධ විශ්වසනීයත්වය පිළිබඳ එල්ල වූ විවේචන හේතුවෙන් ඉල්ලා අස්වීමෙන් පසු නව කථානායකවරයෙකු අඟහරුවාදා දින ප්‍රකාශයට පත් කරනු ඇතැයි වාර්තාවේ.
රන්වල මහතා සිකුරාදා දින තම තනතුරෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය පිළිබඳව ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබූ අතර ජනාධිපති ලේකම් විසින් කථානායකවරයාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වෙත ලිඛිතව දන්වා ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64(2) වගන්තිය ප්‍රකාරව, කථානායක, නියෝජ්‍ය කථානායක හෝ කාරක සභා නියෝජ්‍ය සභාපති ධුරය දරන ඕනෑම මන්ත්‍රීවරයෙකු තම තනතුරෙන් ඉල්ලා අස්වන විට ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දිය යුතු බැවින් එසේ සිදුවී ඇත.
ධුරය භාර ගැනීමෙන් දින 22කට පසු රන්වලගේ ඉල්ලා අස්වීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කෙටිම කාලයක් කථානායක ධුරය දැරූ පුද්ගලයා ලෙස වාර්තාවක්ද ලෝක මට්ටමින් එවැනි කෙටි කලක් කතානායක ලෙස සිටි තෙවැනියා බවට වාර්තාවක්ද පිහිටුවා ඇත.
ඉල්ලා අස්වීම දැනුම්දෙමින් රන්වල පවසා ඇත්තේ තමන් කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් සිදු කර නොමැති බවත්, අවශ්‍ය සහතික ලබාගෙන පසුව ඉදිරිපත් කරන බවත්ය.
කෙසේ වෙතත් මේ සම්බන්ධව අදහස් දක්වා ඇති ආශු මාරසිංහ පවසා ඇත්තේ රන්වලගේ අස්වීම සඳහන් ලිපිය පවා විශ්වාසයෙන් තොර එකක් බවයි. වසේදා විශ්ව විද්‍යාලය 'වසීදා' යනුවෙන් ඔහු හඳුන්වා ඇති බව පෙන්වා දෙන මාරසිංහ තමා ඉගෙන ගත් සරසවියක නමක් වැරදි ලෙස සටහන් කිරීම සිදුවිය නොහැකි දෙයක් යයි පෙන්වා දෙයි. එසේම මෙම විශ්ව විද්‍යාලය එවැනි තහවුරු කිරීමක් කිරීමට දීර්ඝ කාලයක් ලබා නොගන්නා බවත් විශේෂයෙන්ම ශ්‍රී ලංකා කථානායක ලෙස කරන ඉල්ලීමක් ඔවුන් ඉක්මනින් සලකා බලන බවත් ඔහු පෙන්වා දෙන අතර ඒ අනුව මාරසිංහ තර්ක කරන්නේ මෙම ලිපියේ සටහන් වන්නේද අවංක සටහන් නොවන බවය.
මේ අතර අගහරුවාදා දින නම් කරන බවට වාර්තාවන නව කතානායකවරයා ලෙස ප්‍රධාන වශයෙන් නම් දෙකක් ගැන සලකා බලා ඇති බව අභ්‍යන්තර දේශපාලන ආරංචි හෙළි කර තිබේ. එකක් වන්නේ දැනට නියෝජ්‍ය කතානායක ධූරය දරන වෛද්‍ය රිස්වි සාලිත්ගේ නමයි. දෙවැන්න විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහගේ නමයි.
රන්වලගේ පත්කිරීමට පෙර බිමල් රත්නායක හා නිහාල් ගලප්පත්ති යන අයගේ නම් කතානායක ලෙස පත්කිරීමට රජය කල්පනා කර තිබුණත් එම යෝජනා පසුව ක්‍රියාත්මක වූයේ නැත.
රන්වල මහතා සිකුරාදා දින තම තනතුරෙන් ඉල්ලා අස්වීම සමග මහමැතිවරණ ජයගැනීමට දේශපාලකයින් විසින් ජනතාව අන්දවන 'නිල නාම' ගැන විශාල කථාබහක්ද සමාජය තුළ නිර්මාණය විය. ආචාර්ය,මහාචාර්ය,විශේෂඥ වෛද්‍ය, ඉංජිනේරු හා අධිනීතීඥ ආදී නිල නාම තමන්ගේ නමට ඉදිරියෙන් දමාගෙන එම තනතුරුවල සිවිල් බලයට වසඟකරගෙන ජනතාව රවටා මැතිවරණ මනාප ජයගැනීම උපායක් බවට පත්ව ඇති අයුරුද හෙළිදරව් විය.
0 Comments