The-former-soldier-Ahimsa-for-rejecting-love


රත්නපුර සිරිපාගම ප්‍රදේශයේදී යුද හමුදාවේ හිටපු 23 හැවිරිදි සෙබළියක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චූන් පාන් අලෙවිකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ඝාතනය සිදුව ඇත්තේ පසුගිය 04 වැනිදා උදෑසන 7.30ට පමණ සිරිපාගම පොලිස් බල ප්‍රදේශයේ කැටවල ගිලිමලේ වෙලේගොඩ මාර්ගයේදී ය. එම්. අහිංසා සමන්මලි නම් වූ තරුණියගේ හිසට හා ශරීරයට පොල්ලකින් එල්ල කළ පහරදීමෙන් බරපතල තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පෙර මියගොස් තිබේ.

පොලිස් පරීක්ෂණවලට අනුව, මියගිය තරුණිය වසර හතරක් යුද හමුදා සේවයේ නියැලී සිට ඉන් ඉවත්ව නිවසේ රැඳී සිටි අයෙකි. චූන් පාන් ත්‍රීරෝද රථ රියදුරු සැකකරු විසින් ඇයගේ ආදරය පතා කිහිප වරක් ඉල්ලීම් කර තිබුණද, ඇය එය ප්‍රතික්ෂේප කර ඇති බව පවුලේ සාමාජිකයන් පොලීසියට ප්‍රකාශ කර තිබේ.



සිද්ධිය වන අවස්ථාවේ තරුණිය අල්මාරියක් මිලදී ගැනීම සඳහා රත්නපුර නගරයට යමින් සිටි අතර, සිරිපාගම සුදාගල මාර්ගයේදී පිටුපසින් පැමිණි සැකකරු විසින් ඇයට පහර දී ඇත. පොලීසිය විසින් ඝාතනයට යොදාගත් පොල්ල සොයාගෙන ඇති අතර, සිද්ධිය සිදුවූ ස්ථානයේ ලේ පැල්ලම් ද හමු වී තිබේ.

රත්නපුර නියෝජ්‍ය පොලිස්පති පවිත්‍ර දයාරත්න මහතාගේ උපදෙස් මත සිරිපාගම පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතී. මියගිය තරුණියගේ මරණ පරීක්ෂණය හා මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (05) දින පැවැත්වීමට නියමිතව තිබිණි.