Tourist-dies-in-shark-attack-in-Egypt

ඊජිප්තුවේ රතු මුහුදු වෙරළ තීරයේ සිදුවූ මෝර ප්‍රහාරයකින් සංචාරකයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊජිප්තු පරිසර අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන පරිදි මෙම සිදුවීම කිමිදුම්කරුවන් අතර ජනප්‍රිය නැගෙනහිර ඊජිප්තුවේ මාර්සා ආලම් නගරයෙන් උතුරට වන්නට සිදුව ඇත.
 "නියමිත පිහිනුම් ප්‍රදේශයෙන් පිටත ගැඹුරු ජලයේදී" මෙම ප්‍රහාරය සිදුව ඇති බව එහි වැඩිදුරටත් සඳහන් විය.



විදේශිකයන් දෙදෙනා කවුරුන්දැයි බලධාරීන් සඳහන් නොකළද, ඉතාලි විදේශ අමාත්‍යාංශයේ නම් සඳහන් නොකළ මූලාශ්‍රයක් උපුටා දක්වමින් AFP පුවත් සේවය වාර්තා කරන්නේ ඔවුන් ඉතාලි ජාතිකයන් බවයි.

AFP හි වාර්තාවට අනුව මියගිය 48 හැවිරිදි පුද්ගලයා රෝමයේ පදිංචිකරුවෙකු වන අතර තුවාල ලැබූ පුද්ගලයා 69 හැවිරිදි වියේ පසුවිය.

ඊජිප්තු නිලධාරීන් පැවසූ පරිදි සංචාරකයින් දෙදෙනා මාර්සා ආලම් නගරයෙන් සැතපුම් 30ක් පමණ උතුරින් පිහිටි පෝර්ට් ගාලිබ් රෝහලට ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් තිබේ.

මෙම සිදුවීමෙන් පසු මාර්සා ආලම් හි පිහිනුම් ප්‍රදේශය වසා දමා ඇති අතර සිදුවීම පිළිබඳව විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින බව බලධාරීන් පවසා ඇත.
ස්වාධීන මෝර පර්යේෂණ ආයතනය විසින් රැස් කරන ලද දත්තවලට අනුව පසුගිය වසර 10 තුළ රතු මුහුදේ සිදුවූ මෝර ප්‍රහාරවලින් මරණ හතරක් තහවුරු වී ඇත.

අවසන් වරට එවැනි සිදුවීමක් වාර්තා වූයේ 2023 ජූනි මාසයේදී හර්ගුඩා අසලදී වන අතර එහිදී 24 හැවිරිදි රුසියානු ජාතිකයෙකු මියගියේය.