ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අතුරුදන් ජීප් රථයක් ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් කොස්ගම, ශාලාව පුහුණු කදවුර පරිශ්‍රයේ ඇති බවට සහ ශාලාව යුද හමුදා කඳවුර අකුරේගොඩ යුද හමුදා – මූලස්ථානයට අනුයුක්ත කිරීමට යන බවට අසත්‍ය, ද්වේෂ සහගත, අපහාසාත්මක වීඩියෝ හා ප්‍රකාශ නිර්මාණය කර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය
කිරීම වළක්වමින් මාධ්‍යවේදියකුට හා යුද හමුදාවේ සෙබළුන් දෙදෙනකුට එරෙහිව කොන්දේසි සහිත ආඥාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නිළිණ ගමගේ මහතා පෙරේදා (09) නිකුත් කළේය.හිටපු මේජර් ජෙනරාල් ඉන්දු මද්දුම බණ්ඩාර සමරකෝන් මහතා විසින් විතාරණගේ තුෂාර සාලිය රණවක නමැති සමාජ ක්‍රියාකාරී මාධ්‍යවේදියා හා ශාලාව හමුදා පුහුණු කඳවුරේ සෙබළුන් වන හෙට්ටිආරච්චි හා නුවන් යන අය වගඋත්තරකරුවන් කරමින් ඔන්ලයින් පනත යටතේ පවරා තිබූ නඩුව සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළේය.
කොස්ගම ශාලාව හමුදා පුහුණු කඳවුර පිළිබඳව දැනට යූටියුබ් නාලිකාවල හා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල පළකර ඇති ප්‍රකාශ හා වීඩියෝ දර්ශන තවදුරටත් ප්‍රචාරය කිරිම වළක්වමින් නියෝගයක් හා, නැවත උඩුගත කිරීම වළක්වමින් නියෝගයක් ද විත්තිකරුවන්ට මහේස්ත්‍රාත්වරයා එහිදී නිකුත් කළේය.
2024 අංක 9 දරන මාර්ගස්ථ ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (සමාජ මාධ්‍ය පනත යටතේ) 24 (1) වැනි වගන්තිය යටතේ හිටපු මේජර් ජෙනරාල් ඉන්දු මද්දුම බණ්ඩාර සමරකෝන් මහතා ගොනු කළ පැමිණිල්ල වෙනුවෙන් හිටපු නීතිපති, ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි තොරතුරු සමාජගත කරමින් සිටින බවය.
මෙම සමාජ මාධ්‍ය ක්‍රියාකරු මීට පෙර යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් අසත්‍ය පුවත් ප්‍රචාරය කළ අයකු බවද, දැනට විදේශගතව නොදන්නා රටක සිට අදාළ යූටියුබ් නාලිකාව පවත්වාගෙන යමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි සංවේදී කරුණු සමාජගත කරමින් සමාජය නොමග යවමින් සිටින පුද්ගලයකු බවත්, ශාලාව පුහුණු කඳවුර, අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයට අනුයුක්ත කිරිමට සිදු කෙරෙමින් පවතින රහස්‍ය සාකච්ඡා සම්බන්ධයෙන් පුවත් මවමින් ඒවා සිදු කරනුයේ හුදෙක් පටු පරමාර්ථයෙන් යම්කිසි කොට්ඨාසයකගේ වුවමනාවට බව අඟවන අසත්‍ය පුවත් ප්‍රචාරය කර ඇති බවත්, එම ප්රවෘත්ති සඳහා වගඋත්තරකාර සෙබළුන් අසත්‍ය ප්රවෘත්ති ලබා දී ඇති බවත් පෙන්වා දුන්නේය.
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අතුරුදන් වූ රථයක් ශාලාව පුහුණු කඳවුරේ ඇති බවට ඔක්තෝබර් මස 18 දින තොරතුරු පළ කර තිබූ බවද වැඩිදුරටත් පැවසීය.ඉදිරිපත් වූ කරුණු සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකරුවන්ට ඔන්ලයින් පනත ප්‍රකාරව කොන්දේසි සහිත අඥාවක් නිකුත් කරමින් ජනවාරි 10 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.පැමිණිලිකාර මේජර් ජෙනරාල්වරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම්, නීතිඥ එඩ්වඩ් ජයසිංහ, නීතිඥ කමල් සිල්වා, නීතිඥ සුමේධ ෆනැන්ඩු යන නීතිඥ මඬුල්ලක් පෙනී සිටියේය.
( රෝෂන් තුෂාර)
0 Comments