ampara-incident

දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරමින්, රන් භාණ්ඩ අලෙවිසල්වලින් රන් භාණ්ඩ මිලට ගන්නා බවට අඟවමින්, රන් භාණ්ඩ සොරාගන්නා බවට සැකකරන කාන්තාවක, සොරකම් කරන ලද බවට සැකකරන රන් භාණ්ඩ උකස්කළ රිසිටි සහ රුපියල් 2,30,000 ක මුදලක් සමඟ ඉකුත් 28වැනිදා සවස අම්පාර සිට බස් රථයකින් ගමන් කරමින් සිටිය දී, අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව අම්පාර පොලිසිය පවසයි.




මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඇහැලියගොඩ පදිංචි 43 හැවිරිදි සයදරු කාන්තාවක වන අතර, ඇය අම්පාර මුවංගල අරුණපුර ගම්මානයේ නිවසක් කුලියට ගෙන තාවකාලිකව පදිංචි වී රන් බඩු සොරකම් කිරීමේ නිරතව ඇති බව පොලිසිය සඳහන් කරයි.අම්පාර දිසා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව ඉකුත් 28 වැනිදා සවස අම්පාර -පන්නල්ගම දක්වා ධාවනය වෙමින් පැවති බස් රථය පරීක්ෂා කළ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට සැකකාරිය අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති අතර ඒ අවස්ථාවේ ඇය සන්තකයේ රුපියල් 2,30,000ක මුදලක් සහ රන් භාණ්ඩ උකස්කළ රිසිට් පත් හමුවී ඇත.


වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී එක් රන් වළල්ලක් අම්පාර නගරයේ ව්‍යාපාරික ස්ථානයකට උකස්කර ඇති බවත්, එය වවුනියාව ප්‍රදේශයේ වෙළඳසලකින් සොරකම් කරන ලද්දක් බවටත් අනාවරණය වී ඇත. ඇය අත්අඩංගුවට ගැනීමත් සමග පොලිස් ස්ථාන රැසකින් ඇය සම්බන්ධ තොරතුරු ලැබෙමින් පවතින බවත්

වවුනියාව, යාපනය, මොණරාගල යන ප්‍රදේශවල වෙළඳසල්වලින් රන් භාණ්ඩ සොරකම්කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර සම්මන්තුර, කෑගල්ල, අනුරාධපුර, අධිකරණවල සහ ක්‍රෙට්කාඩ් පතක් සොරකම් කර ලෙස මුදල් ලබාගැනීමේ සිදුවීමක් සම්බන්ධව අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ ද නඩු පවතින බව පොලිසිය ප්‍රකාශ කරයි.අත්අඩංගුවටගත් සැකකාරිය අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියාය.
(ඩී. ඥානසිරි හෙට්ටිආරච්චිගේ)