anuradapura-train-accident

 වේගයෙන් ඉදිරියට පැමිණි ශීඝ්‍රගාමී දුම්රිය, දුම්රිය වේදිකාවේ ගෑවී නොගෑවී ධාවනය කරන බව දුටු තමා දුම්රිය වේදිකාවට අත තබා ඉක්මනටම වේදිකාවට නැඟගත් බවත් එම අවස්ථාවේ දුම්රියේ හැපුණු රංජනී නැන්දා රෝල් වී යනවා දුටු බවත් කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා පෙරේදා (22දා) සවස ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් මරුමුවට පත් තිස්හත් හැවිරිදි කාන්තාව සහ ඇගේ අසල්වාසී තරුණියක වන දහහත් හැවිරිදි තරුණියගේ මරණ පරීක්ෂණ සම්බන්ධයෙන් ඊයේ(23දා) අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂක ජේ.එම්. ජයතිලක මහතා විසින් සිදු කරනු ලැබූ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් සිද්ධිය සියැසින් දුටු රත්නපුර ශ්‍රී පාද මධ්‍ය විද්‍යාලයේ 13 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන රත්නපුර මාපලාන පහළ පාරේ පදිංචි දහ අට හැවිරිදි බිලින්ගස්තැන්නගේ සිතුවම් ඒකනායක සිසුවා පැවැසීය.



 පෙරේදා (22දා) සවස සිදු වූ එම දුම්රිය අනතුරින් රත්නපුර මාපලාන ප්‍රදේශයේ පදිංචිව සිටි තිස්හත් හැවිරිදි කේ. විමලා රංජනී සහ දහහත් හැවිරිදි කේ. තරණි සපුමලී නිසාදනී නමැති තරුණියන් ජීවිතක්ෂයට පත් වූහ.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සැරයන් ආර්.එම්.ජී. රත්නායක(47902) මහතාගේ මෙහෙයවීමෙන් මෙම සාක්ෂි විමසීම සිදුකෙරිණි.

 එහිදී වැඩිදුරටත් සාක්ෂි දුන් සාක්ෂිකරු මෙසේද පැවැසීය.

පසුගිය 20 වැනිදා අප අනුරාධපුර සල්ගාදු  ක්‍රීඩාංගණයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ  පැවැත්වෙන ටයිකොන්ඩෝ තරගාවලියට ක්‍රීඩා කිරීමට මගේ මල්ලිලා දෙදෙනා ඉදිරිපත් වන නිසා ඊට සහභාගි වීමට මමත්, මගේ මවත් පියාත්, මල්ලිලා දෙදෙනාත් අනුරාධපුරයට පැමිණියා.

ගෙදර තනිවම සිටීමට නොහැකි නිසා මමත් මවුපියන් සමඟ අනුරාධපුරයට පැමිණියා.

එසේ පැමිණ සිටි අප මියගොස් සිටින තරණී නිසාදරී නංගිගේ අනුරාධපුර නව නගරයේ දුම්රිය ස්ථානය ආසන්නයේ පදිංචිව සිටින ලොකු අම්මාවන ලලීනා නැන්දාගේ නිවෙසට ගියා.

තරණි නංගි සමඟින් විමලා රංජනී නැන්දාත් මමත් එහි ගියා.



 රංජනී නැන්දා රත්නපුර පිහිටි මාගේ නිවස අසල පදිංචිව සිටියා. ඇයව මා අ¾දුරනවා. අප රත්නපුරේ සිට අනුරාධපුරයට පැමිණ පූජා නගරයේ සංඝමිත්තා මාවතේ පිහිටි මහාබෝධි විද්‍යාලයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටියා. රත්නපුරේ සිට අනුරාධපුරට පැමිණි අප කණ්ඩායමට තිස්දෙනකු පමණ ඇතුළත් වුණා. ඔවුන් සියලුදෙනාම මහාබෝධි විද්‍යාලයේ නවාතැන් ගෙන සිටියේ.

තරණි නංගිත් විමලා රංජනී නැන්දා ඇතුළු අපි තිදෙනා අනුරාධපුර නගරයේ සිට නාච්චාදූව බලා ධවනය වූ බස් රථයෙන් අනුරාධපුර නව නගර බස් නැවතුම්පොළෙන් බැස  නව නගරය දුම්රිය ස්ථානය අසලින් දුම්රිය මාර්ගයේ ගමන් කොට තරණි නංගිගේ ලොකු අම්මාගේ නිවෙසට ගොස් එහිදී බීම පානය කොට අප නැවැත දුම්රිය මාර්ගය දිගේ අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානය දෙසට පයින් ගමන් කළා.

අනුරාධපුර පොලිස් ස්ථානය පැත්තෙන් සල්ගාදු ක්‍රීඩා පිටියට යෑමේ අදහසින් අපි දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් කළේ. මම පෙර පාසල් යන කාලයේ එක වතාවක් පමණක් දුම්රියක ගමන් කළ බව මතකයක් තියෙනවා. ඒ හැර  දුම්රිය මාර්ගය සම්බන්ධයෙන් දැනුවත් බවකුත් තිබුණේ නැහැ. අපි අලුතෙන් ඉදිකරන අනුරාධපුර නව දුම්රිය ස්ථානයේ පදික වේදිකාව අතරින් ගමන් කළේ.

අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානය දෙසට අප පයින් රේල් පාරේ ගමන් කරන විට එහි නතර වී රංජනී නැන්දාගේ ඉල්ලීම මත මාගේ ජංගම දුරකථනයෙන් ඡායාරූප ලබා ගත්තා.

එම අවස්ථාවේ රංජනී නැන්දා මා හට ඡායාරූප ලබාගන්නා ලෙස තරහෙනුත් කිව්වා. ඉන්පසු මා ඔවුන්ගේ ඡායාරූප හයක් පමණ ලබා ගත්තා. අවසාන ඡායාරූපය ගන්නා විට සවස 4.11ට  පමණ ඇති.



රේල් පීල්ලයි දුම්රිය වේදිකාවයි අතර ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක් තිබුණේ. මා තමයි ඉදිරියෙන් ගමන් කළේ. තරණි නංගි සහ රංජනී නැන්දා මා හට පසු පසින් එකට ගමන් කළේ.

එම අවස්ථාවේ ශීඝ්‍රගාමී දුම්රියක් වේගයෙන් දුම්රිය වේදිකාවේ ගෑවී නොගෑවී ධාවනය කරන බව මා දුටුවා. එම අවස්ථාවේ දුම්රිය වේදිකාවට අත තබා ඉක්මනටම මා වේදිකාවට නැග්ගා.

 එම අවස්ථාවේ දුම්රියේ හැපුණු රංජනී නැන්දා රෝල් වී යනවා දුටුවා. මා ඒ වෙලාවේ තරණි නංගිව දුටුවේ නෑ.

මම පසුව කැලේ පැත්තෙන් බැස ගොස් තරණි නංගිගේ ලොකු අම්මටත් සඟිති අක්කටත් තරණි නංගියි රංජනී නැන්දයි දෙදෙනා කෝච්චියට හැපුණු බව කියා සිටියා.

 පසුව තරණි නංගිගේ ලොකු අම්මා ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණියා. මම පසුව මගේ මවට කෝල් කරල කිව්වා තරණි නංගිවයි රංජනී නැන්දවයි කෝච්චියට හැපුණු බව සල්ගාදු ක්‍රීඩාංගණයේ සිටි මගේ අම්මයි තාත්තයි දෙන්නා ඉක්මනට ඒ ස්ථානයට පැමිණියා.

ඉන්පසු තරණි නංගිගේ සහ රංජනී නන්දාගේ මෘත දේහ ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයට රැගෙන ගිය බව මා හට දැන ගැනීමට ලැබුණා.

අනුරාධපුර –  පර්සි කුරුනේරු

විජයපුර – ආනන්ද ජයසිරි