හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මුල් කරගෙන වෙඩි තබා කාන්තාවක ඝාතනය කිරීමට තැත් කිරීමේදී ඉලක්කය වැරැදි වෙනත් වයෝවෘද්ධ කාන්තාවකට වෙඩි වැදී මිය යෑමේ සිද්ධිය ඩුබායි රටේ සිට මෙහෙය වූ බවට චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු



මෙන්ම ප්‍රබල අපරාධ කල්ලි නායකයකු බවට සැලකෙන ආමි ප්‍රියන්ත නමැත්තා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා ජාත්‍යන්තර පොලිසිය මඟින් විවෘත වරෙන්තු නිකුත් කළේය.



මහෙස්ත්‍රාත්වරයා මෙසේ විවෘත වරෙන්තු නිකුත් කළේ පදවිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජය කුමාරසිරි මහතාගේ උපදෙස් මත පදවිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ සැරයන් ධම්මික මහතා (21504)  වැඩිදුර වාර්තාවක් මඟින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බලමිනි.

අදාළ වැඩිදුර වාර්තාව ඉදිරිපත් කරමින් සැරයන් ධම්මික මහතා (21504) අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ හෙරොයින් ජාවාරමක් පිළිබඳව ඇති වූ ආරවුලක් මුල් කරගෙන කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේදී වෙනත් කාන්තාවකට වෙඩි වැදී මිය යෑමේ සිද්ධිය ඩුබායි රටේ සිට මෙහෙයවා ඇත්තේ යුද හමුදාවෙන් පලා ගිය ආමි ප්‍රියන්ත නමැත්තකු බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

ඩුබායි රටේ සැඟව සිටින ආමි ප්‍රියන්ත නමැත්තා මෙරට තවත් අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බව අධිකරණයට කියා සිටි සැරයන්වරයා ඒ අනුව අදාළ තොරතුරු ඔස්සේ ඉදිරි විමර්ශන සිදුකිරීමට ආමි ප්‍රියන්ත නමැත්තා අත්අඩංගුවට ගෙන ඩුබායි රටේ සිට මෙරටට රැගෙන ඒමට පොලිසියට අවශ්‍ය බවද පවසා සිටියේය.

ඒ අනුව ඩුබායිහි සැඟව සිටින ආමි ප්‍රියන්ත නමැත්තා අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා පොලිසියට භාරදෙන ලෙසට නියෝග කරමින් ජාත්‍යන්තර පොලිසිය හරහා විවෘත වරෙන්තු නිකුත් කරන ලෙසද අධිකරණයෙන් අයැද සිටි සැරයන් ධම්මික මහතා මෙම ඝාතනය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් කර සිටින වෙඩික්කාර හිටපු යුද හමුදා සෙබළා ඇතුළු සැකකරුවන් තිදෙනා යළි රිමාන්ඩ් කරන ලෙසද අයැද සිටියේය.



සැරයන්වරයාගේ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා ඩුබායි හි සැඟව සිටින ආමි ප්‍රියන්ත නමැත්තා වහාම අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා පොලිසියට භාරදෙන ලෙස නියෝග කරමින් ජාත්‍යන්තර පොලිසිය හරහා විවෘත වරෙන්තු නිකුත් කළේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් කර සිටින වෙඩික්කාර හිටපු යුද හමුදා සෙබළා ඇතුළු සැකකරුවන් තිදෙනා මේ මස 30 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කිරීමටද නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද පදවිය පොලිසියට නියෝග කෙරිණි.

මෙසේ යළි රිමාන්ඩ් භාරයට පත් කළේ මහියංගණය මාපාකඩ රෝහල පාර පදිංචි හිටපු යුද හමුදා සෙබළකු වන ආර්.ඒ.ඒ. බුද්ධික උදය, වැලිඔය ඇතාවැටුණු වැව ඩී.ජී.ජී. කසුන් දනංජය ‍ෙදාඩම්ගොල්ල සහ වැලිඔය කිරීඉබ්බන්වැව පදිංචි උපුල් දනංජය නමැති සැකකරුවන්ය.

මහෙස්ත්‍රාත්වරයා විසින් ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කළ විවෘත වරෙන්තුව ක්‍රියාත්මක කිරීමේ ඉදිරි කටයුතු සඳහා අදාළ නියෝගය වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මඟින් වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට පදවිය පොලිසිය ඇවැසි නීතිමය කටයුතු සිදුකරමින් පවතී.



පදවිය බාලයාවැව පදිංචිව සිටි එන්. මුතුමැණිකේ නමැති හැත්තෑදෙක හැවිරිදි කාන්තාවට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ  වෙඩික්කාර හිටපු යුද හමුදා සෙබළා ඇතුළු සැකකරුවන් තිදෙනා සිද්ධියෙන් පැය 24ක් ගතවන්නටත් පෙර අත්අඩංගුවට ගැනීමට පදවිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජය කුමාරසිරි මහතාගේ මෙහෙයවීම මත ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම්වලට හැකි විය.

අදාළ ඝාතනයට යොදාගත් ගිනි අවිය අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ පුල්මුඩේ කඳවුරේ අණදෙන නිලධාරිවරයා ඇතුළු විශේෂ කාර්ය බළකා භට පිරිසක් විසිනි.

පැමිණිල්ල වෙනුවෙන් පදවිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජය කුමාරසිරි මහතාගේ උපදෙස් මත සැරයන්  ධම්මික මහතා(21504) පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥ තුෂාරි විජේනායක මහත්මිය පෙනී සිටියාය.

අනුරාධපුර  – ​උපාලි ආනන්ද