asarbijan-air-crash

අසර්බයිජානයේ සිට දකුණු රුසියාව බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් ඊයේ උදේ කසකස්තානයේ අක්ටව් (Aktau) නගරය ආසන්නයේ දී අනතුරට පත්වීමෙන් එහි ගමන් ගත් පිරිසෙන් 39ක් මියගොස් ඇත. යානය අනතුරට පත්ව ඇත්තේ අක්ටව් ගුවන්තොටුපළ කරා හදිසි ගොඩබෑමකට සැරසෙද්දීය.






මෙම ගුවන් යානය අනතුරට පත්වීමට හේතු වී ඇත්තේ එම යානය කුරුල්ලන් සමූහයක්සමඟ ගැටීම බව කසකස්තානය හදිසි අවස්ථා අමාත්‍යාංශය පවසයි. මෙම කුරුලු රෑන ගැටීමෙන් යානයේ එන්ජිමට හානියක් සිදුවන්නට ඇති බව මූලික වාර්තාවන්හි දැක්වෙයි. කුරුල්ලන් ගැටීමෙන් පසුව නැවත යානයේ පාලනය පවත්වා ගැනීමට කපිතාන්වරයා දැරූ උත්සාහය ව්‍යවර්ථ වීමෙන් පසු ඔහු හදිසි ගොඩබෑමට අවසර ඉල්ලා ඇත.




අනතුරට පත්වන අවස්ථාවේ යානයේ පස්දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලය සමඟ 67 දෙනකු සිට ඇති අතර ඉන් 28 දෙනකු දිවි ගලවා ගැනීමට වාසනාව ලබා තිබේ. දිවි බේරාගත් අය අතර 11 හැවිරිදි ගැහැනු ළමයකුද වෙයි.

ඉන් පස්දෙනකු බරපතළ තුවාල ලබා ඇත.මෙසේ අනතුරට පත්ව ඇත්තේ අසර්බයිජාන් ගුවන් සේවයට අයත් J2-8243 දරන යානයයි. මෙම ගුවන් යානය අසර්බයිජානයේ අගනුවර වන බකු සිට දකුණු රුසියාවේ චෙච්නියාහි ග්‍රොස්නි නගරයට ගමන් කරමින් සිටියදී ගමනාන්තයට කි.මී. 3ක් තිබියදී හදිසි ගොඩබෑමකට මුහුණ දී තිබේ. එහෙත් මෙම හදිසි ගොඩබෑමේදී යානය ගිනිගෙන ඇති බව කසකස්තාන හදිසි අවස්ථා අමාත්‍යාංශය පවසයි.