ඕස්ට්‍රේලියාවේ දී සිය දරුවන් ඉදිරියේ දී තම බිරිද පොරොවකින් කපා කොටා ඝාතනය කර තම පුතණුවන්ට ද පහරදුන් 47 හැවිරිදි දිනුෂ් කුරේරා නම් ශ්‍රී ලාංකික ජාතිකයාට වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අමන්දා ෆොක්ස් මහත්මිය ඊයේ (19) වසර 37 ක සිර දඬුවමක් නියම කළාය.
දිනුෂ් කුරේරා සිය බිරිඳවූ නෙලෝමි පෙරේරා, 2022 වසරේදී ඕස්ට්‍රේලියාවේ සෑර්ස්ට් නගරයේ ඇයගේ නිවෙසේදී තම දරුවන් ඉදිරියේ විනාඩි 14 ක කාලයක් පුරාවට කපා කොටා ඝාතනය කර තිබූ අතර ඇය සිරුරේ කැපුම් තුවාල 35ක් සහිතව ලේ විලක් මැද වැටී සිටියදී ඕස්ට්‍රේලියානු පොලිසිය සොයා ගත්තේය.පසුගිය සැප්තැම්බර් මාසයේදී ඔහු මිනීමැරීමේ චෝදනාවට වරදකරු බව වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. එහිදී දඬුවම් නියම කිරීම සඳහා ඊයේ (19) දිනට නඩුව කැඳවීමට වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබිණි.
ආත්ම ආරක්ෂාව සඳහා තම බිරිඳ ඝාතනය කළ බව දිනුෂ් කුරේරා ප්‍රකාශ කළත් ඔහු නිදහසට ඉදිරිපත් කරන කරුණු කිසිසේත් පිළිගත නොහැකි බව අමන්දා ෆොක්ස් විනිසුරුවරිය ප්‍රකාශ කළාය. හොඳ කල් ක්‍රියාවෙන් සිටීම හේතුවෙන් ලබාගන්නා සමාවට අයැදුම් කිරීමටත් දිනුෂ් කුරේරා අවම වශයෙන් අවුරුදු 30ක සිර දඬුවමක් විඳිය යුතු බවද ඇය පැවැසුවාය.
දිනුෂ් කුරේරා සිය පුතණුවන්ට තුන්වතාවක් පොරොවෙන් පහරදී ඇති බවත් සිය මවට පොරොවෙන් පහරදෙන අවස්ථාවේ උදවු ඉල්ලීම සඳහා පිටතට දුව යෑමට උත්සාහ දැරිම හේතුවෙන් දිනුෂ් කුරේරා සිය පුත්‍රයාට මෙලෙස පහරදී ඇති බවත් නඩු විභාගයේ දී අනාවරණය විය.කුරේරාට ගෘහස්ථ ප්රචණ්ඩත්වය පිළිබඳ ඉතිහාසයක් තිබෙන බවත් ඔහු වෙනත් කාන්තාවන් ආශ්‍රය කරන බවත් නඩු විභාගයේ දී ඔප්පු විය. ඒ හේතුවෙන් කුරේරා 2022 වසර මුලදී ශ්‍රී ලංකා සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේ දික්කසාදවීමේ සැලසුම ඇතිව ඔහුට විරුද්ධව නෙලෝමි තහනම් නියෝගයක් ලබාගෙන ඇති බවත් එම නියෝගය හේතුවෙන් කුරේරාට නෙලෝමි සමග එක නිවසේ වාසය කිරීමට නොහැකි වී ඇති බවත් නඩු විභාගයේ දී අනාවරණය විය.
(විමුක්ති එස් රුද්‍රිගු)
0 Comments