ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රාජකාරි කටයුතු සදහා නිල වාහනයක් ලබා දීමට රජය ගෙන තිබූ තීරණය ආපසු හරවාගෙන ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසිය. රජයේ මන්ත්‍රීවරුන්ට රාජකාරි කටයුතු සඳහා නිල වාහනයක් ලබා දීම වෙනුවට ඔවුන් භාවිත කරන පෞද්ගලික වාහනයට ඉන්ධන කෝටාවක් ලබා දීමට රජය මේ වන විට තීරණය කර ඇතැයි එම නිලධාරියා පැවැසුවේය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් ලබා දීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වීම හේතුවෙන් රජය එම තීරණය ආපසු හරවාගෙන ඇතැයි ඔහු ප්‍රකාශ කළේය. කෙසේ නමුත්, අමාත්‍යාංශය රාජකාරි කටයුතු සඳහා අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට නිල වාහනයක් ලබා දීමට රජය ගත් තීරණය එලෙසම ක්‍රියාත්මක වන බව එම නිලධාරියා පැවැසුවේය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාටම නිල වාහනයක් ලබා දීමට රජය ගත් තීරණයට විරුද්ධ පක්ෂයෙන් ද දැඩි විවේචන එල්ල වූ අතර,
තමන් ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන නිල වාහනයට සමාන වාහනයක් ඉල්ලා සිටින බව ඇතැම් විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ.
තමන් තේරී පත්වූ මැතිවරණ බලප්‍රදේශයට රාජකාරි කටයුතු සඳහා ගමන් කිරීමට වාහනයක් අවශ්‍ය බැවින්, රජය ලබා දීමට තීරණය කර තිබූ නිල වාහනය ලබා ගැනීමට කැමැති බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රකාශ කර තිබිණි.මේ අතර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර සිටියේ, පසුගිය රජයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඛණ්ඩව ලබා දුන් තීරු බදු රහිතව වාහනයක් ආනයනය කිරීමේ බලපත්‍රය මෙම රජය මගින් ලබා නොදෙන බවයි.
සෑම වසර 5කට වරක් ඒ පිළිබඳ කැබිනට් පත්‍රිකාව මෙතෙක් ඉදිරිපත් වුවත්, මෙවර එවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොවනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.
එසේම, අමාත්‍යවරුන් සඳහා නව වාහන ආනයනය නොකරන බව ද ඔහු පැවැසුවේය.මේ අතර, මීට පෙර අමාත්‍යවරුන් සහ විවිධ අමාත්‍යාංශ භාවිත කළ, නඩත්තු කිරීමට අධික මුදලක් වැය වන V8 වර්ගයේ මෝටර් රථ 228ක් වෙන්දේසි කිරීමට පියවර ගන්නා බවත්, එවැනි නඩත්තු කිරීමට අධික මුදලක් වැය වන V8 වර්ගයේ මෝටර් රථ රජයේ භාවිතය සඳහා ඉදිරියේදී ආනයනය
නොකරන බවත්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය. V8 වර්ගයේ මෝටර් රථ වෙනුවට දැරිය හැකි අඩු මිල, ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවෙන් යුත් මෝටර් රථ ආනයනය කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවැසුවේය.
(දමිත් වික්‍රමසේකර)
0 Comments