Iranian-woman-injured-after-hitting-ground-while-taking-selfie-on-Ella-train

 ඇල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ඇල්ල ඔඩිසි සංචාරක දුම්රියෙන් ගමන් කළ ඉරාන ජාතික විදේශික කාන්තාවක් සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී ඔහිය-ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර පිහිටි අංක 20 දුම්රිය බිංගෙයි ගැටී දුම්රියෙන් ඇද වැටී බරපතල තුවාල ලැබූ බව හපුතලේ පොලිසිය පවසයි.



මෙරටට සංචාරයක් සඳහා පැමිණි අවුරුදු 37ක් වයසැති මෙම ඉරාන ජාතික කාන්තාව තවත් කිහිප දෙනෙකු සමඟ ඇල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ ඇල්ල ඔඩිසි සංචාරක දුම්රියෙන් නානුඔය බලා ගමන් කරමින් සිටියදී දුම්රියේ පාපුවරුවේ එල්ලී සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී අනතුරට ලක්ව ඇත. ඇය දුම්රියෙන් ඇද වැටීමෙන් පසු නානුඔය දුම්රිය ස්ථානයට රැගෙන ගොස් 1990 ගිලන් රථයකින් නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

පසුගිය දින කිහිපය තුළ කොළඹ කොටුව-බදුල්ල මාර්ගයේ ධාවනය වූ උඩරට මැණිකේ හා රාත්‍රී තැපැල් දුම්රියවල ගමන් ගත් විදේශික සංචාරකයන් සහ විශ්වවිද්‍යාල සිසුවියක් ද සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් දුම්රියෙන් ඇද වැටී බරපතල තුවාල

ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ අංක 1015 දරන උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් අවුරුදු 61ක් වයසැති කොරියානු ජාතිකයෙක් තවත් දෙදෙනෙකු සමඟ නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය කර නානුඔය සිට හපුතලේ බලා යමින් සිටියදී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් හපුතලේ දුම්රිය ස්ථානය අසලදී යකඩ කණුවක ගැටී දුම්රියෙන් ඇද වැටී බරපතල තුවාල ලබා ඇත.

රත්ගම අරලිය උයන ප්‍රදේශයේ පදිංචි කොළඹ විශ්වවිද්‍යාලයේ අවුරුදු 21ක් වයසැති සිසුවියක් තවත් පිරිසක් සමඟ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ අංක 1045 රාත්‍රී තැපැල් දුම්රියෙන් ගමන් කරමින් සිටියදී හපුතලේ දුම්රිය ස්ථානයේදී දුම්රිය නැවතුණු අවස්ථාවේ බැස සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටියදී නැවත ධාවනය වූ දුම්රියට ගොඩවීමට යාමේදී දුම්රියෙන් ඇද වැටී පාදයට බරපතල තුවාල සිදුවීම නිසා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

තවද, කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ අංක 1015 දරන උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික විදේශික කාන්තාවක් දුම්රිය පාපුවරුවේ එල්ලී සෙල්ෆි ඡායාරූප ගැනීමට

යාමේදී ඔහිය-පට්ටිපොළ දුම්රිය ස්ථාන අතර පිහිටි අංක 19 දුම්රිය බිංගෙයි ගැටී දුම්රියෙන් ඇද වැටී බරපතල තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

දුම්රියේ ගමන් කරමින් සිටියදී දුම්රිය පාපුවරුවේ එල්ලී සෙල්ෆි ඡායාරූප ගැනීම අනතුරුදායක බැවින් එසේ සෙල්ෆි ඡායාරූප ගැනීමෙන් වැළකෙන ලෙස හපුතලේ පොලිසිය මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව දේශීය හා විදේශීය සංචාරකයන්ගෙන් ඉල්ලා සිටිති.