බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියේ හාලිඇල උනුගොල්ල බංගලාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බවත්, එම බංගලාවෙන් ඔහුව වහාම ඉවත් කරන ලෙසත් උනුගල්ල වතු පාලනාධිකාරියට දැනුම්දෙන බවය. මේ අතර, මෙම නියෝගය ක්‍රියාත්මක නොකළහොත් වතු සමාගම සමඟ පවතින ගිවිසුම් අවලංගු කිරීමට පියවර ගන්නා බවට ද අනතුරු ඇඟවීය.
නව රජය යටතේ පැවැත්වෙන ප්‍රථම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම වූ මෙහිදී, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ සිදු කරන ඉඩම් බෙදාදීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ද තීරණය කෙරිණි. මෙම තීරණයට හේතු වූයේ දියතලාව පොලිස් කන්ද ප්‍රදේශයේ ඉඩම් දේශපාලන පදනමින් බෙදා දී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් කරන ලද හෙළිදරව්වයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූ පරිදි, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම විසින් දේශපාලනඥයින්ගේ අභිමතය පරිදි ක්‍රියා කිරීම හේතුවෙන් බරපතල අසාධාරණයක් සිදුවී ඇති බැවින් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ද කටයුතු කරන බව ප්‍රකාශ කළේය.
මීට අමතරව, නායයෑම් හේතුවෙන් අවතැන් වූ වතුකරයේ ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළක් ද හඳුන්වා දී ඇත. ඒ අනුව එම පවුල්වලට නිවාස ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 28 බැගින් ආධාර මුදලක් ලබාදීමට තීරණය කර ඇති අතර, මෙම වැඩසටහන ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙනු ඇත.
0 Comments