“මගේ රත්තරන් දරු පැටවු දෙන්නා ගෙදරින් යද්දී මට වැදලා ගියේ. ඒත් මම හීනෙකින්වත් හිතුවේ නෑ ඔවුන් ඒ ගියේ අවසන් ගමන කියලා. මගේ දරු පැටවු දෙන්නා සංසාරේ පතා ගෙන ආ විදිහට එකටම අවසන් ගමන ගියා.” යයි, දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව හා ඉමදුව අතර කොටසේදී මෝටර් රථය ලොරියක ගැටීමෙන් සිදු වූ අනතුරින් මියගිය මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දැරියන් දෙදෙනාගේ මිත්තණිය වන කේ. නානායක්කාර (74) මහත්මිය පැවැසුවාය. එසේ අවාසනාවන්ත ලෙස මරුමුවට පත් වූයේ, මාතර නූපේ පදිංචිව සිටි, ඉසුම් රදීෂා උබේසිංහ (12) හා ඇයගේ එකම නැගණිය වූ සෙනුදි දම්සරා උබේසිංහ (10) නමැති දැරියන් දෙදෙනෙකි.
මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ 5 හා 8 වැනි ශ්‍රේණිවල ඉගෙනුම ලබමින් සිටි ඔවුන් සිය මව හා පියා සමග පුද්ගලික මෝටර් රථයෙන් කොළඹ නාරාහේන්පිට පෞපෞද්ගලික රෝහලකට ගොස් ආපසු එමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබුණි.ඒ, වැඩිමල් දියණිය වන ඉසුම් රදීයාගේ ඇසෙහි අසනීප තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමටය. අනතුරින් එම දැරියන්ගේ මව හා පියා ද තුවාල ලැබූ අතර, ඔවුන් ද වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය මහ රෝහල වෙත ඇතුළත් කෙරිණි.ද
ැරියන් දෙදෙනාගේ මව් වන උදානි රාජපක්ෂ මහත්මිය මාතර සාන්ත තෝමස් කුමර විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කරන අතර, පියා වන චමින්ද උබේසිංහ මහතා ඉඩම් හිමි වැවිලිකරුවෙකි.
ඔවුන්ට සිටි දියණියන් දෙදෙනාම මෙම අවාසනාවන්ත අනතුරින් මිය යාම මුළු මහත් මාතර ප්‍රදේශයම එකම මළගෙයක් බවට පත් කර තිබේ.දැරියන් දෙදෙනාගේ දේහ තැන්පත් කර තිබුණේ ඔවුන්ගේ මහ ගෙදර වූ කැකණදුර පාතේගම දනුකෙයියාවත්තේ පිහිටි නිවෙසේය.අප එහි යන විටත් දැරියන් දෙදෙනාට අවසන් ගෞරව දැක්වීම සඳහා මහා සංඝරත්නය ප්රමුඛ ආගමික නායකයන්, ව්‍යාපාරිකයන්, පාසල් ගුරුවරුන්, දරු දැරියන් ඇතුළු ජනතාව වැල නොකැඩී පැමිණෙමින් සිටියහ.
දැරියන්ගේ පියාගේ හා මවගේ ද නේවාසික ප්‍රතිකාර අවසන් කොට තිබූ අතර, ඉකුත් සිකුරාදා සවස් වන තෙක්ම පවුලේ ඥාතීන් එම මවට තම දියණියන්ගේ අභාවයන් වසන් කර තිබුණේය. එම පුවත ඒ තරමටම එම මවට දරාගත නොහැකි වේදනාවක් ගෙන දෙන නිසාවෙනි.නේවාසික ප්‍රතිකාර අවසන් කොට එම මව මාතර නූපේ පිහිටි නිවෙසට කැඳවා ගෙනැවිත් තිබූ අතර, ඇයට පවසා තිබුණේ තම දියණියන් දෙදෙනා බරපතළ තුවාල ලබා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවය.
ඇය එහිදී කියා තිබුණේ, තම දරුවන් දෙදෙනා කෙසේ හෝ කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දී සුවපත් කරගන්නා ලෙසයි.කෙසේ වෙතත්, ඒ වන විටත් දැරියන්ගේ නිසල සිරුරු මහගෙදර අවසන් ගෞරවය සඳහා තබා තිබුණි.
තම දරු දුක යම් හෝ මට්ටමකට තුනී කරගැනීම සඳහා පසුව මවට අවස්ථාව සලසා දීමට පවුලේ ඥාතීහු කටයුතු කළහ.
දැරියන්ගේ මිත්තණීය වන කේ. නානායක්කාර මහත්මිය මෙසේ ද කීවාය.
"මගේ දරු පැටවු දෙන්නා ඉස්කෝලේ යන දවස්වලට විතරයි මාතර ගෙදර ඉන්නේ අනිත් නිවාඩු දවස්වල මේ ගෙදර තමයි ඉන්නේ. මේ පාරත් ඉස්කෝලේ නිවාඩුවට ගෙදර ඇවිත් තමයි හිටියේ. ලොකු දුවගේ ඇහැක් රිදෙනවා කී නිසා බෙහෙත් අරන් දෙන්න කොළඹ ගියේ. ඒ ගිහින් එද්දී තමයි මේ අනතුර වෙලා තියෙන්නේ. මාතර වෙහෙරගම්පිට පදිංචි මගේ ලොකු දුව තමයි මට කතා කරලා කීවේ අම්මේ හිත කලබල කරගන්න එපා. දරුවෝ දෙන්නාට අනතුරක් සිදු වෙලා' කියලා පසුව කීවා ඔවුන් නැති වුණා කියලා." මියගිය ඉසුම් රදීෂාගේ මිතුරියන් වන තිසුලි සිනෙල්යා (12) හා තිලින්දි තුසරහාරි (12) මෙසේ කීහ.
"සෙනුදි කියන්නේ අපේ පන්තියේ ඉන්න අහිංසකම මිතුරියක්. එයා හරිම කරුණාවන්තයි. අපේ හොඳම යාළුවෙක්. ඉස්කෝලේ වැඩ ටික වුණත් හොඳට කරනවා. කාගෙවත් හිත රිදවන්නේ නෑ එයා මෙහෙම ඉන්නවා දැක්කාම අපිට දරාගන්න බැ.
කෙසේ වෙතත්, මෝටර් රථයේ ඉදිරිපස හා පිටුපස අසුනේ සිටි අක්කා නගෝ දෙදෙනාම මේ ආකාරයට අවසන් ගමන් යාම එම මවුපියන් හා පවුලේ සාමාජිකයන්ට තදින්ම දැනෙනු ඇත.එම දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු පෙරේදා (14) විශාල පිරිසකගේ සෝසුසුම් මැද පවුලේ සුසාන භූමියේදී සිදු කෙරිණි.ලබන ජනවාරි මාසයේ පළමු සතියේදී නව පාසල් වාරය ආරම්භ වන අතර, එහිදී මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ පන්ති කාමර දෙකක පුටු දෙකක් හිස්ට තිබෙනු ඇත. ඒ, යළි කවදාවත් මේ ආත්මයේදී දැක බලා ගැනීමට නොහැකි ඉසුම් හා සෙනුදිගේ ඩෙස්ක් බංකු දෙකය. එය ඔවුන්ගේ මිතුරියන්ට හා ගුරුවරුන්ට ද තදින් දැනෙනු ඇත.
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
0 Comments