Pregnant-woman-dies-after-illegal-abortion-attempted-by-obstetrician-gynecologist

දෙමටගොඩ දී නීති විරෝධී ලෙස සිදු කරන ලද ගබ්සාවක් හේතුවෙන් පිළියන්දල ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි කාන්තාවක් මියයාම සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය ලබන ජනවාරි 7 වැනි දින පැවැත්වීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඊයේ (17) දින නියෝග කළාය.

මියගිය කාන්තාවගේ සැමියා විසින් දෙමටගොඩ පොලීසියට කරන ලද පැමිණිල්ලට අනුව, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ෆසීර් මොහොමඩ් මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. ඒ අනුව මෙම යුවල 2022 වසරේ විවාහ වී ඇති අතර, කාන්තාව 2024 වසරේ දී ගර්භණී වී තිබේ. ගර්භණී බව මාස පහක් වන විට කළලයේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කාන්තාව වෛද්‍යවරුන් කිහිප දෙනෙකු හමු වී ඇති අතර, දරුවාට සංකූලතා ඇති බව ඔවුන්ගේ වාර්තාවල සඳහන් වී තිබේ.



ඉන් අනතුරුව මෙම යුවල කොළඹ පෞද්ගලික රෝහලක සේවය කරන මහාචාර්ය ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු හමු වී ඇත. දරුවාගේ වකුගඩුවල ගැටලුවක් පවතින බවත්, එය මව සහ දරුවා යන දෙදෙනාගේම ජීවිතවලට තර්ජනයක් විය හැකි බවත් පවසමින් දරු ගැබ ඉවත් කිරීමට රුපියල් 250,000ක මුදලක් ඉල්ලා ඇත.

යුවල එයට එකඟ වීමෙන් පසු වෛද්‍යවරයා ඔවුන්ට දෙමටගොඩ - මහවිල ගාර්ඩ්න් හි ස්ථානයකට පැමිණෙන ලෙස දන්වා ඇති අතර, පසුගිය නොවැම්බර් 20 වැනි දින ඔවුන් එම ස්ථානයට ගොස් තිබේ. එහිදී සැමියා සමඟ ගිය බිරිඳව වෛද්‍යවරයා රඳවාගෙන අඩුවක් යොදා දරු ගැබ ඉවත් කර ඇත. මෙම සිදුවීමෙන් පසු කාන්තාවට දැඩි රුධිර වහනයක් ඇති වී තිබේ.

කාන්තාවගේ තත්ත්වය බරපතල වූ විට ඇයව කොළඹ ජාතික රෝහලට රැගෙන යාමට සැමියා කිහිප වතාවක්ම ඉල්ලා සිටියත්, වෛද්‍යවරයා එම ඉල්ලීම නොසලකා හැර ඇයව තම සේවය කරන පෞද්ගලික රෝහලට රැගෙන ගොස් ඇත. එහිදී පැය එකහමාරකට පමණ පසු කාන්තාව මියගොස් තිබේ.

පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති පරිදි ගබ්සාව සිදු කළ ස්ථානය කිසිදු ශල්‍යකර්මයකට සුදුසු තැනක් නොවන අතර, වෛද්‍යවරයා වගකීම් විරහිතව කටයුතු කර ඇති බව නීතිඥවරයා අධිකරණයට පෙන්වා දී තිබේ.